සිරිමාවෝ වර්ණ ප්‍රදානෝත්සවයේ අර්බුදය: සිසුවියකගේ විරෝධය සමාජ මාධ්‍ය කැළඹීමට ලක් කරයි

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් හේතුවෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. දෙසැම්බර් 19 වැනිදා පැවති මෙම උත්සවයේදී, තමන් ක්‍රීඩාවෙන් ඉහළ දක්ෂතා දක්වා තිබියදීත් පුහුණුවීම්වලට සහභාගී නොවීම හේතුවක් කරගනිමින් තමන්ට හිමිවිය යුතු සම්මානය අහිමි කළ බවට එක්තරා සිසුවියක් එහිදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම මෙම ආන්දෝලනයට හේතු වී ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළවෙමින් පවතින අතර, ඇතැමුන් එම සිසුවියගේ නිර්භීතභාවය අගය කරන අතරතුර, තවත් පිරිසක් පවසන්නේ අදාළ සම්මානය දිනාගත් අනෙක් සිසුවියද දක්ෂයෙකු බැවින් ඇයව මෙලෙස අපහසුතාවයට පත් කිරීම අසාධාරණ බවයි.​මෙම තත්ත්වය හමුවේ නිවේදනයක් නිකුත් කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සඳහන් කළේ, අදාළ ස්කොෂ් සහ පිහිනුම් ක්‍රීඩිකාවන් දෙදෙනාම පාසලට ගෞරවයක් ගෙන දුන් දක්ෂ සිසුවියන් බවයි. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් මගින් විනිවිදභාවයකින් යුත් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පාසල් පරිපාලනයෙන් ඉල්ලා සිටින බවත්, පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් සිසුවියන්ට හෝ පාසලේ කීර්ති නාමයට හානි වන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසත් ඔවුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පාසල් පරිපාලනය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

What's your reaction?

Related Posts

1 of 900

Leave A Reply

Your email address will not be published. Required fields are marked *