දෙසැම්බර් 28 වනදා සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් සමාජයේ ඇතිව තිබෙන කතාබහ පිළිබඳව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. දැනට ක්‍රීඩාංගණයේ පවතින ධාවන පථය දැඩි ලෙස අබලන් වී ඇති අතර, එය මලල ක්‍රීඩා තරඟ පැවැත්වීමට කිසිසේත්ම නුසුදුසු මට්ටමක පවතින බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මේ හේතුවෙන් පවතින ධාවන පථය ඉවත් කර නව පථයක් ඉදිකිරීම සඳහා වන ටෙන්ඩර් කැඳවීමේ කටයුතු ද දැනටමත් ආරම්භ කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන කාලසීමාව තුළ ක්‍රීඩාංගණය ක්‍රීඩා කටයුතු සඳහා භාවිත නොකරන බැවින්, අදාළ ගාස්තු අයකර ගැනීමෙන් පසු ප්‍රසංගය සඳහා අවසර ලබාදීමට කළමනාකාරිත්වය තීරණය කර ඇත. වර්තමාන ධාවන පථය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නියමිත බැවින්, මෙම ප්‍රසංගය හරහා ධාවන පථයට අලුතින් සිදුවන විශේෂ හානියක් නොමැති බවත්, වැඩසටහනේ වගකීම සංවිධායකයින් සතු වන බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි. මෙම සිදුවීම ක්‍රීඩා ක්ෂේත්රයට එල්ල වූ මරු පහරක් ලෙස හුවා දක්වමින් ඇතැම් පාර්ශව සහ මාධ්‍ය ආයතන සිදුකරන අසත්‍ය හා සදාචාර විරෝධී වාර්තාකරණය ක්‍රීඩා අමාත්‍යාංශය දැඩි ලෙස හෙළා දකිනු ලබයි.


























