සුළි කුණාටු ව්‍යසනය: පූර්ව සූදානම ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

කුණාටුවට පෙර සූදානමක් නොමැති වීම පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද කථානායකවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කළහ. සුළි කුණාටුව ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත ලෙස හඳුන්වා දුන් මන්ත්‍රීවරුන්, ජීවිත හා දේපළවලට සිදුවූ හානිය මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති වුවද, විපතේ පරිමාණය අනුව මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළහ.​කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන මගින් සුළි කුණාටුව ගොඩබිමට පත්වීමට පෙර සිටම අනතුරු ඇඟවීම් සහ පුරෝකථනයන් නිකුත් කර තිබූ බවත්, එවැනි පසුබිමක අදාළ බලධාරීන් ප්‍රමාණවත් පූර්ව සූදානමක් ගැනීමට අපොහොසත් වීම කණගාටුදායක බවත් එම යෝජනාවේ සඳහන් වේ. බලධාරීන් නියමිත වේලාවට පියවර ගත්තේ නම් බොහෝ ජීවිත බේරා ගැනීමට ඉඩ තිබූ බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මීට පෙර රටේ ඇති වූ පාස්කු ප්‍රහාරය සහ ආර්ථික බිඳවැටීම වැනි අර්බුදකාරී අවස්ථාවලදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත් කළ ආකාරයටම, මෙම ව්‍යසනය සම්බන්ධයෙන්ද කරුණු සොයා බලා සවිස්තරාත්මක වාර්තාවක් ලබාදීමට කාරක සභාවක් අවශ්‍ය බව ඔවුහු පෙන්වා දුන්හ.​මෙම යෝජනාව මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ දිස්ත්‍රික්ක 22ම නියෝජනය වන පරිදි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 30 දෙනෙකුගෙන් මෙම කාරක සභාව සමන්විත විය යුතු බවයි.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *