සුළි කුණාටුව හේතුවෙන් ජීවිත අහිමි වූවන් සහ සහන සේවා කටයුතුවලදී දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් ගෞරවයෙන් සිහිපත් කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මමහත්මිය ප්‍රකාශ කළාය. ජාතික ආපදා අවස්ථාවකදී සිවිල් බලධාරීන් හා මහජනතාව සමඟ සම්බන්ධ වෙමින් සන්නද්ධ හමුදාවන් ඉටුකළ වෘත්තීයවේදී සහ කැපවීමෙන් යුත් සේවය ඇය මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළාය. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (16) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) 19 වන පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී විදේශීය නිලධාරීන් 26 දෙනෙකු ඇතුළුව උපාධිධාරීන් 149 දෙනෙකු සිය පාඨමාලා සාර්ථකව නිම කළ අතර, එම විදේශීය සහභාගීත්වය ජාත්‍යන්තර හා කලාපීය හමුදා සහයෝගීතාව තහවුරු කරන්නක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. එහිදී විශිෂ්ට දක්ෂතා දැක්වූවන් සඳහා ‘ගෝල්ඩන් අවුල්’ (Golden Owl), ‘ගෝල්ඩන් පෙන්’ (Golden Pen) සහ සේනාවිධායක ගෞරව සම්මාන පිරිනැමුණු අතර, ‘Defence and Security Journal’ සහ ‘Owlet’ සඟරාවල නවතම කලාපයන්ද අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී.අනාගත ලෝකයේ තාක්ෂණික වෙනස්කම් මධ්‍යයේ වුවද, සදාචාරාත්මක මගපෙන්වීම් සහිතව නායකත්වය සැපයීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. විනය, වගකීම සහ නිවැරදි තීරණ ගැනීම නායකත්වයේ පදනම විය යුතු බවත්, මෙම විද්‍යාලය තුළින් ගොඩනගාගත් වෘත්තීය සබඳතා අනාගත සාම සාධක සහ මානුෂීය මෙහෙයුම්වලදී බෙහෙවින් වැදගත් වනු ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.


























