හබරණ සිට පොළොන්නරුව දෙසට දිවෙන ප්රධාන මාර්ගයේ මින්නේරිය ප්රදේශයේදී අද උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ඇඟලුම් සේවකයින් ප්රවාහනය කරමින් තිබූ බස් රථයක්, තවත් බස් රථයක සහ ගොයම් කපන යන්ත්රයක් රැගෙන යමින් තිබූ ට්රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.අනතුරින් තුවාල ලැබූවන් අතර බස් රථවල ගමන් ගත් මගීන් හත් දෙනෙකු ද වන අතර, ඔවුන් වහාම ක්රියාත්මක වූ ප්රදේශවාසීන්ගේ සහ පොලීසියේ මැදිහත්වීමෙන් හබරණ සහ පොළොන්නරුව රෝහල් වෙත ඇතුළත් කර ඇත. වාහන තුනක් එකිනෙක ගැටීම නිසා මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද සුළු වේලාවකට බාධා එල්ල විය.රෝහල්ගත කළ පිරිස අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් වැඩිදුර ප්රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ. මින්නේරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, රියදුරන්ගේ අපරීක්ෂාකාරී ධාවනය අනතුරට හේතුවී දැයි සොයා බැලේ.


























