හෙරොයින් ග්‍රෑම් 2.53ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින්, මහාධිකරණ තීන්දුව ස්ථිර කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. මෙලෙස මරණ දඬුවම තහවුරු වූයේ ‘සුදාකරන්’ හෙවත් ජයසිංහම් රජීව් නමැති විත්තිකරුට වන අතර, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය මගින් ඔහුට මීට පෙර මරණ දඬුවම නියම කර තිබුණි. ශෂී මහේන්ද්‍රන් සහ පී. කුමාරන් රත්නම් යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.මෙම නඩුව 2014 මාර්තු 17 වන දින කොළඹ, මාදම්පිටිය ප්‍රදේශයේ සිදුකළ පොලිස් වැටලීමකට අදාළව ගොනු කරන ලද්දකි. එහිදී හෙරොයින් ග්‍රෑම් 2.53ක් සමඟ අත්අඩංගුවට පත් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළ අතර, පූර්ණ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් ඔහු සියලු චෝදනාවලට වරදකරු කර මරණ දඬුවම නියම කළේය.කෙසේ වෙතත්, මහාධිකරණ තීන්දුව නීතිමය වශයෙන් දෝෂ සහිත බවත්, සාක්ෂි නිසි ලෙස ඇගයීමට ලක්ව නොමැති බවත් පවසමින් විත්තිකරු අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ, මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂි නිසි ලෙස විශ්ලේෂණය කර ඇති බවත් පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවත්ය. ඒ අනුව, මහාධිකරණ තීන්දුවට මැදිහත් වීමට කිසිදු පදනමක් නොමැති බව සඳහන් කරමින් අදාළ අභියාචනය ඉවත දමා මරණ දඬුවම ස්ථිර කරන ලදී.


























