හොරණ, වගවත්ත ප්රදේශයේ පවත්වාගෙන ගිය අනවසර මැණික් පතලක් තුළ සිදුවූ නායයෑමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (31) රාත්රී කාලයේ මෙම පුද්ගලයා පතලේ වැඩ කරමින් සිටියදී ඔහු මතට පස් කන්දක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. පස්වලට යටවූ ඔහුව වහාම ගොඩගෙන හොරණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.මෙසේ අකාලයේ දිවි අහිමි වී ඇත්තේ කිරිඇල්ල ප්රදේශයේ පදිංචිව සිටි අයෙකි. දැනට ඔහුගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම අනවසර පතල් කැණීම සහ අනතුර සිදුවූ ආකාරය පිළිබඳව හොරණ පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.




















