හෝමාගම සහ අවට ප්‍රදේශ කිහිපයකට අදියර 3ක ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජලාශවල ජල නිෂ්පාදිත ධාරිතාව සීමා වීම හේතුවෙන් පාදුක්ක, හෝමාගම සහ පැලැන්වත්ත යන ප්‍රදේශ සඳහා අදියර වශයෙන් ක්‍රියාත්මක වන පැය 24ක ජල කප්පාදුවක් හඳුන්වා දීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. මෙම තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කළ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (බටහිර මධ්‍යම) දිස්නා පන්නිල මහත්මිය සඳහන් කළේ, පවතින තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. ඒ අනුව එක් ප්‍රදේශයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමෙන් පසු, ඉදිරි දින හතරක කාලය තුළ එම ප්‍රදේශයට අඛණ්ඩව ජලය සැපයීමට සැලසුම් කර තිබේ.​මෙම ජල කප්පාදුවේ පළමු අදියර පාදුක්ක ප්‍රදේශයෙන් ආරම්භ වන අතර, ඒ අනුව අද (02) රාත්‍රී 8.00 සිට හෙට (03) රාත්‍රී 8.00 දක්වා එහි ජල සැපයුම නතර කෙරේ. හෝමාගම ප්‍රදේශයට අප්‍රේල් 03 වනදා රාත්‍රී 8.00 සිට 04 වනදා රාත්‍රී 8.00 දක්වාත්, පැලැන්වත්ත ප්‍රදේශයට අප්‍රේල් 04 වනදා රාත්‍රී 8.00 සිට 05 වනදා රාත්‍රී 8.00 දක්වාත් ජලය සැපයීම අත්හිටුවනු ඇත. ප්‍රදේශවාසීන්ට සිදුවන අපහසුව අවම කරගැනීම සඳහා එක් කප්පාදුවකින් පසු දින හතරක් අඛණ්ඩව ජලය ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇත.​කෙසේ වෙතත්, මෙම චක්‍රීය ක්‍රමවේදය යටතේ දෙවන වරටත් ජලය අත්හිටුවීමට නියමිත දින වකවානුද දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අප්‍රේල් 07 වනදාත්, හෝමාගම ප්‍රදේශයට අප්‍රේල් 08 වනදාත් සහ පැලැන්වත්ත කලාපයට අප්‍රේල් 09 වනදාත් නැවත වරක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ජල නිෂ්පාදනයේ පවතින ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,085

Leave A Reply

Your email address will not be published. Required fields are marked *