හෝමාගම සහ පැලැන්වත්ත යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද (09) සහ හෙට (10) දිනවල පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව පළමු අදියර යටතේ හෝමාගම අවට ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා ජල කප්පාදුව ක්‍රියාත්මක වේ. හෝමාගම නගරය ඇතුළුව වෑකන්ද පාර, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිලවත්ත, නියඳගල, මහකටුවාන, මාගම්මන, දෙණිය සහ දියගම විශ්වවිද්‍යාලය යන කලාපවලට මෙයින් බලපෑම් එල්ල වනු ඇත.මෙම ජල කප්පාදුවේ දෙවන අදියර හෙට (10) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැලැන්වත්ත සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ අතරට පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල පාර සහ මොරකැටිය පාර ඇතුළත් වේ. මීට අමතරව හිරිපිටිය, ගොරකපිටිය පාර, නියඳගල පාර – දොලේකඩේ හංදිය, කුඩමාදුව සිට 255 බස් මාර්ගයේ වෙල දක්වා මෙන්ම පුබුදු මාවත සිට එම මාර්ගයේම වෙල දක්වා වන කොටස්වලට ද ජලය නිකුත් කිරීම තාවකාලිකව නතර කෙරේ.අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සිදු කෙරෙන මෙම ජල සැපයුම අත්හිටුවීම නිසා ප්‍රදේශවාසීන්ට සිදුවන අපහසුතාව පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි. එම නිසා අදාළ කාල සීමාව තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, අවශ්‍ය ජල ප්‍රමාණය කල්තියා රැස් කර තබා ගන්නා ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී. වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් ජල සම්පාදන මණ්ඩලයේ ක්ෂණික ඇමතුම් අංක 1939 හරහා විමසීම් කළ හැකිය.






















