ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක තෙල් සැපයුමෙන් 20%ක් ගලා යන හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බ්‍රිතාන්‍යය ඇතුළු ප්‍රබල රටවල් සිය යුද නැව් එවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු පළ කරයි. ඉරානයේ හමුදා බලය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව පවසන ට්‍රම්ප්, එරටින් එල්ල විය හැකි කුඩා පරිමාණයේ ඩ්‍රෝන හෝ මිසයිල ප්‍රහාර වැළැක්වීමට චීනය, ප්‍රංශය, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් එක්විය යුතු බව සිය ‘Truth Social’ ගිණුමෙහි සටහන් කර ඇත. මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ කලාපීය නාවික ආරක්ෂාව වෙනුවෙන් විවිධ විකල්ප පිළිබඳව මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය දිගටම අවහිර කරන බවට ටෙහෙරානය අනතුරු අඟවා ඇති අතර, පසුගිය පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා නෞකා 16කට පමණ ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ. ඉරානයේ ඛාර්ග් දූපතේ පිහිටි තෙල් යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ට්‍රම්ප් තර්ජනය කර ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය පවසා ඇත්තේ එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඇමරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන සමාගම් සතු බලශක්ති මධ්‍යස්ථාන වහාම විනාශ කරන බවයි. මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
























