ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” ලෙස උපහාසාත්මකව හඳුන්වා දීමත් සමඟ ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මියාමි හි පැවති ආයෝජන සමුළුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඉරානය විසින් “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” හෙවත් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ යුතු බවයි. මෙය අත්වැරදීමකින් සිදු වූවක් බව පවසමින් සිනහමුසු මුහුණින් පෙනී සිටි ජනාධිපතිවරයා, තමන් අතින් වැරදි සිදු නොවන බවත් මාධ්‍ය විසින් මෙය වැරදි අර්ථකථනයක් දෙනු ඇති බවත් පවසමින් සභාවේ සිනහව මතු කිරීමට සමත් විය.දිනකට තෙල් බැරල් මිලියන 20ක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම මුහුදු සීමාව ඉරාන යුද්ධයේ ප්‍රධානතම ගැටුම්කාරී මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති අතර, ඉරානය විසින් මෙම මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට සහ මිල ගණන්වලට දැඩි බලපෑම් එල්ල වී ඇත. මෙම අර්බුදය විසඳීම සඳහා තමන් සහ ඉරාන අයතුල්ලා අතර හවුල් පාලනයක් පිළිබඳවද මීට පෙර ට්‍රම්ප් අදහස් පළ කළේය. ඉරානය සාකච්ඡා සඳහා දැඩි උනන්දුවක් දක්වන බව ඇමෙරිකාව පැවසුවද ටෙහෙරානය එය ප්‍රතික්ෂේප කර ඇත. මේ අතර, මෙම මුහුදු සන්ධිය තම නමින් හෝ “ඇමරිකානු සමුද්‍ර සන්ධිය” ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා කල්පනා කරමින් සිටින බවද වාර්තා වේ.තමන් සතු ව්‍යාපාරික සන්නාමය ලෝකය පුරා ප්‍රචලිත කිරීමට ප්‍රසිද්ධියක් උසුලන ඩොනල්ඩ් ට්‍රම්ප්, මීට පෙරද වොෂින්ටනයේ පිහිටි ජෝන් එෆ්. කෙනඩි කලා මධ්‍යස්ථානය “ට්‍රම්ප්-කෙනඩි මධ්‍යස්ථානය” ලෙස නම් කිරීමට කටයුතු කර තිබුණි. මෙම නවතම ප්‍රකාශය ද ඔහුගේ එම සන්නාමකරණ උපායමාර්ගයේම කොටසක් ලෙස බොහෝ දෙනා අර්ථකථනය කරති. කලාපීය යුදමය තත්ත්වය දෙවන මාසයට එළඹෙමින් තිබියදී, මෙම ප්‍රධාන නාවික මාර්ගයේ පාලනය නතු කර ගැනීම පිළිබඳව කෙරෙන මෙවැනි ප්‍රකාශ දේශපාලනික වශයෙන් ඉතා තීරණාත්මක වී තිබේ.
























