අගමැතිනී හරිනිගේ ස්විට්සර්ලන්ත සංචාරය නිමයි: ආර්ථික සහයෝගීතාවයේ නව පිටුවක් පෙරළෙයි

ස්විට්සර්ලන්තයේ දාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු දූත පිරිස සිව්දින නිල සංචාරය නිමා කරමින් අද (ජනවාරි 23) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියහ. ජනවාරි 19 සිට 22 දක්වා පැවැති මෙම සමුළුව අතරතුර, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ගමන ශක්තිමත් කිරීම වෙනුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් සහ ව්‍යාපාරික නායකයන් සමඟ අග්‍රාමාත්‍යවරිය පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වූවාය. මෙම සංචාරය සඳහා කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් ද එක්ව සිටියහ.​මෙම සංචාරයේ විශේෂත්වයක් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසත්සුගු අසකාවා යන මහත්ම මහත්මීන් සමඟ ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට අවශ්‍ය සහය ලබාගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡායි. මීට අමතරව සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම්, යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් සහ UNDP පරිපාලක ඇලෙක්සැන්ඩර් ද ක්‍රූ යන මහත්ම මහත්මීන් හමුවීම හරහා ජාත්‍යන්තර සබඳතා ව්‍යාප්ත කිරීමටත් ශ්‍රී ලංකාව කෙරෙහි ලෝක විශ්වාසය තහවුරු කිරීමටත් ඇය සමත් වූවාය.​ගෝලීය වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරිය ‘World Women Davos Agenda 2026’ රැස්වීමේදී විශේෂ දේශනයක් පැවැත්වූ අතර, නැගී එන වෙළඳපලවල රැකියා අභියෝග සහ ගෝලීය කුසලතා සංවර්ධනය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයන්ට ද දායක වූවාය. සංචාරක ක්ෂේත්‍රයේ අනාගත දැක්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය සංචාරක සංසදයේ (GTF) ඉහළ පෙළේ සාකච්ඡාවකට ද ඇය එක්වූ අතර, ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම වෙනුවෙන් AP Moller-Maersk වැනි ජාත්‍යන්තර සමාගම්වල නායකයන් සහ ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව සමඟ ද අදහස් හුවමාරු කර ගත්තාය.​තවද, ස්විට්සර්ලන්තයේ වෘත්තීය පුහුණු ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවල නිරත වූ අග්‍රාමාත්‍යවරිය, එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් හමුවී රටේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කළාය. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ මෙම සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම හරහා ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රයට සහය දක්වන ජාත්‍යන්තර සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට හැකි වූ බවයි.

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *