අධ්‍යාපනය යනු කිසිදු දරුවෙකුට වරප්‍රසාදයක් නොව අනිවාර්ය මූලික අයිතිවාසිකමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් කිසිදු දරුවෙකුට අධ්‍යාපනය අහිමිවී යාමට ඉඩ නොදෙන බවත්, එවැනි පසුබිමක් සම්පූර්ණයෙන්ම තුන් කිරීමට රජය කටයුතු කරන බවත් ඇය අවධාරණය කළාය. කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති “නැණ ඉසුර – 2026” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළ අතර, ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මක මෙම අරමුදල මගින් පහ වසර ශිෂ්‍යත්වය සමත් දරු දැරියන් 460 දෙනෙකුට උසස් පෙළ දක්වාම අවශ්‍ය ශිෂ්‍යත්ව ආධාර පිරිනමන ලදී.රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැවැන්ත පුනරුදයක් ඇති කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ. ඒ යටතේ දැනට පවතින දැඩි විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින්, දරුවන්ගේ කුසලතා, නිරීක්ෂණ ශක්තිය මෙන්ම නිර්මාණශීලී සිතීමේ හැකියාව වර්ධනය වන ප්‍රායෝගික පරිසරයක් නිර්මාණය කිරීම අරමුණයි. පොතපතට පමණක් සීමා නොවූ, නවීන ආකල්ප සහ භාවිතාවන්ගෙන් යුත් අධ්‍යාපන ක්‍රමයක් කරා රට ගෙන යෑමට විෂය මාලා යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.නිදහස් අධ්‍යාපනය තවදුරටත් සුරක්ෂිත කිරීම සඳහා ග්‍රාමීය හා නාගරික පාසල් අතර පවතින පරතරය අවම කිරීම රජයේ තවත් ප්‍රමුඛතාවකි. ඒ සඳහා පාසල්වල පවතින ගුරු හිඟයට පිළියම් යෙදීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ තාක්ෂණික පහසුකම් නංවාලීම වෙනුවෙන් පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.



























