දැල්පන්දු සම්මේලනයේ ඇතිවී ඇති අර්බුද සම්බන්ධයෙන් කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ජාතික දැල්පන්දු සම්මේලනයේ දිස්ත්‍රික් සංගම් නියෝජිතයින් අද(19) ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කැඳවනු ලැබීය
.මෙහිදී දැල්පන්දු සංගම් නියෝජිතයන්ගෙන් වත්මන් තත්ත්වය පිළිබඳ විමසූ අතර, වර්තමානයේ පවතින අර්බුද ඇති වීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස කරුණු විමසීය.
පසුව සංගම් නියෝජිතයන් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ
” අපි ගේම්කාරයින් නොවන බවත්, ක්‍රීඩාව සමඟ කිසිවිටෙක සෙල්ලම් නොකරන බවත්, කිසිවෙකුට එසේ කිරීමට ඉඩක් නොතබන බවත් ය.”
කිසිදු ක්‍රීඩා සංගමයක් හෝ නිලධාරීන් සමඟ විශේෂ හිතවත් කමක් හෝ විශේෂ අමනාපයක් නොමැති බවත්, ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටලු සංගම් තුළම විසඳාගෙන ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට සියලු දෙනා එක් විය යුතු බවත් අවධාරණය කළේය.
එමෙන්ම, දැල්පන්දු සම්බන්ධව ඇති නීති කෘත්‍යයන් හැකි ඉක්මනින් අවසන් කොටගෙන, ව්‍යවස්ථානුකූලව නිලවරණය පවත්වා නිලධාරී මණ්ඩලය නැවත පත් කරගන්නා ලෙස ද උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා, එම කිසිදු කටයුත්තකට මැදිහත් නොවන බව ද පැවසීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන, සුගත් තිලකරත්න, එරංග ගුණසේකර හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.