දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් වඩාත් විධිමත් කිරීමේ පියවරක් ලෙස, තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් කෘමිනාශක ලීටර් 500ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැති විශේෂ හමුවකදී, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අදාළ පරිත්‍යාගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමක් ලෙසද මෙම පියවර දැක්විය හැකිය.වත්මන් අධ්‍යයනවලට අනුව ඇතැම් ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් දැනට භාවිත වන කෘමිනාශකවලට ප්‍රතිරෝධීතාවයක් දක්වන බැවින්, විකල්ප කෘමිනාශක භාවිතය අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, මෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් ඔර්ගැනොෆොස්ෆේට් කාණ්ඩයේ මැලතියන් කෘමිනාශකය අවදානම් කලාප ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන ධූමායන (Fogging) කටයුතු සඳහා යොදාගැනීමට නියමිතය. නියමිත සාන්ද්‍රණයට අනුකූලව ද්‍රාවක සමඟ මිශ්‍ර කර ධූමායන යන්ත්‍ර මගින් පරිසරයට මුදාහැරීමෙන්, පියාසර කරන වැඩිහිටි මදුරුවන් කෙටි කාලයකදී විනාශ කිරීමට බලාපොරොත්තු වේ.මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 88,000ක් වාර්තා වී ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 60කට ආසන්න වන බවයි. එම නිසා මදුරු ඝනත්වය කඩිනමින් පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියාවෙන් ලැබුණු මෙම තාක්ෂණික සහාය ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරනු ඇත.



























