පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි අද (26) අලුයම 4:00 ට පමණ සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත. ප්‍රධාන මුළුතැන්ගෙයි ගැස් කාන්දුවක් හේතුවෙන් ගෑස් සිලින්ඩරයක් පිපිරී යන්නට ඇති බවට සැකකෙරෙන අතර, මෙම අනතුරින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබයි. රෝහල්ගත කර සිටින කිසිදු රෝගියෙකුට මෙම අනතුරින් හානියක් සිදුවී නොමැති බව තහවුරු කර ඇති අතර, හානියට පත් ගොඩනැගිලි කොටස් කඩිනමින් අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා බව එම ස්ථානයට පැමිණි නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා රෝහල වෙත පැමිණීමට නියමිතව ඇති අතර, පිපිරීමෙන් රෝහලේ ව්‍යුහාත්මක හානි රැසක් සිදුවුවද, අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ දැනට ප්‍රතිකාර ලබන රෝගීන් පොළොන්නරුව මහ රෝහලට මාරු කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.



























