විහාරමහාදේවි උද්යානයේදී පය ලිස්සා වැටීම නිසා ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ කස්සප හිමියන් ශ්රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇත. එහිදී වෛද්යවරුන් විසින් උන්වහන්සේව එක්ස්-රේ, අල්ට්රාසවුන්ඩ් ස්කෑන් සහ ලේ පරීක්ෂණ ඇතුළු සම්පූර්ණ වෛද්ය පරීක්ෂාවකට ලක්කර ඇති අතර, එම පරීක්ෂණවලින් බරපතළ හානියක් සටහන් වී නොමැත. උන්වහන්සේගේ හිස වැදී ඇති බව ප්රකාශ කිරීම නිසා වැඩිදුර නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ වාට්ටුවක රැඳී සිටින ලෙස වෛද්යවරුන් උපදෙස් දී තිබේ.කෙසේ වෙතත්, ප්රතිකාර තවදුරටත් අවශ්ය නොවන බව පවසමින් උන්වහන්සේ පැයකට පමණ පසුව රෝහලෙන් පිටව ගිය බව ජාතික රෝහල් අධ්යක්ෂවරයා තහවුරු කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අසත්ය තොරතුරු සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය කරමින් මහජනතාව නොමඟ යැවීමට සහ නොසන්සුන්තාවයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ කරන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.උන්වහන්සේට කිසිදු පහරදීමක් සිදුව නොමැති බවත්, මෙලෙස අසත්ය ප්රචාර සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා තදින්ම නීතිය ක්රියාත්මක කරන බවත් පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.



























