පසුගිය අගෝස්තු 01 වන දින පස්වරුවේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය ආරක්ෂක අංශවල ඉක්මන් මැදිහත්වීමෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇත. බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමෙන් අනතුරුව, ගැටුම්කාරී අවස්ථාවන්ට සම්බන්ධ වූ රැඳවියන් 104 දෙනෙකු දුම්බර, වැලිකඩ, බූස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව සහ පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මාරු කර යවා තිබේ. එම මාරු කර යවන ලද පිරිසගේ නාමලේඛනය මේ වන විට මහර බන්ධනාගාර මාර්ග බාධකය අසල ප්‍රදර්ශනය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් (මෙහෙයුම්) ඒ.සී. ගජනායක මහතා පවසයි.මේ අතර, බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් රැඳවියන් බැලීම සඳහා පැමිණෙන අමුත්තන්ට අවස්ථාව ලබා දීම ඉදිරි සඳුදා සහ අඟහරුවාදා දිනවලින් පසුව යළි ආරම්භ කිරීමට නියමිතය. ආරක්ෂක අංශවල දැඩි මැදිහත්වීම මත තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති අතර, බන්ධනාගාර පරිප්‍රස්ථාරය තුළ පවතින ඉදිරි කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගනිමින් පවතී.



























