ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව, 2026 ජූනි මාසය තුළ ද මෙරට ජංගම ගිණුමේ හිඟයක් (ඇමරිකානු ඩොලර් මිලියන 149ක්) වාර්තා වී ඇති අතර, අපනයනවලට වඩා ආනයන වියදම් ඉහළ යාම නිසා මෙම වසරේ මුල් මාස හය තුළ සමුච්චිත වෙළඳ ගිණුමේ හිඟය ඩොලර් බිලියන 5.5 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ඉන්ධන සහ මෝටර් රථ ආනයන වියදම් පසුගිය මාසවලදී යම් පාලනයකට ලක්වී ඇතත්, 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම වසරේ පළමු අර්ධයේ සමුච්චිත ඉන්ධන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.මැදපෙරදිග අර්බුදය හේතුවෙන් සංචාරක පැමිණීම්වල යම් පසුබෑමක් දක්නට ලැබුණු අතර, ජූනි මාසයේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 151ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත්, විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩව ශක්තිමත් වර්ධනයක් පෙන්වමින් ජූනි මාසයේදී ඩොලර් මිලියන 695ක් දක්වා ඉහළ ගිය අතර, 2026 පළමු අර්ධය තුළ ලැබුණු සමුච්චිත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 4.6ක් ලෙස වාර්තා විය.ජූනි මාසය අවසන් වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක් ලෙස පවත්වා ගැනීමට හැකි වී තිබේ. තවද, ජූලි මස අවසානය වන විට රුපියල ඩොලරයට සාපේක්ෂව 7.8%කින් අවප්‍රමාණය වී තිබුණද, මහ බැංකුවේ නව මූල්‍ය ප්‍රතිපත්තිමය පියවරයන් හේතුවෙන් විදේශ විනිමය අනුපාතිකයේ විචල්‍යතාව මේ වන විට සාර්ථකව පාලනයකට ලක්ව ඇත.



























