මෙම වසරේ ජුනි මාසය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1660ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, වසරේ මුල් මාස කිහිපය තුළ එනම් ජුනි මාසය දක්වා සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 10,432ක් දක්වා වර්ධනය වී තිබේ.විශේෂයෙන්ම ජුනි මාසයේ භාණ්ඩ අපනයනයෙන් පමණක් ඩොලර් මිලියන 1,144ක ආදායමක් හිමිකරගෙන ඇති අතර, සේවා අපනයන ක්ෂේත්‍රයෙන් ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 516කි. කෙසේ වෙතත්, එම මාසය තුළ මෙරටට සිදු කර ඇති ආනයන වියදම ඩොලර් මිලියන 1,972ක් ලෙස සටහන් වී ඇති අතර, ඒ හේතුවෙන් ජුනි මස වෙළඳ හිඟය ඩොලර් මිලියන 829ක් බවට පත්ව ඇත.මෙම ආර්ථික දත්තයන්ට අමතරව, ජුනි මාසයේදී සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම් ඩොලර් මිලියන 151ක් දක්වා වර්ධනය වී ඇති අතර විදේශ ප්‍රේෂණ ලෙස ලැබී ඇති මුදල ඩොලර් මිලියන 695කි. තවද, ජුනි මස අවසාන වන විට රටේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වී තිබේ.



























