අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ. නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති පසුබිමක යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට ඇතුළත් කර ගැනීම සහ බ්‍රිතාන්‍ය රාජකීය හමුදා පුහුණුව ලබා දීම හරහා රජයට මූල්‍ය පාඩුවක් සිදු කරමින් ඔහුට අනීතික වාසියක් සැලැස්වීම මෙම නඩුවට මුල් වී ඇත.මෙම නඩුව යටතේ විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා අටක් ඉදිරිපත් කර ඇති අතර, මෙහි පළමු විත්තිකරු ලෙස වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ මහතාද, දෙවැනි විත්තිකරු ලෙස යෝෂිත කනිෂ්ක රාජපක්ෂ මහතාද නම් කර ඇත.අදාළ නඩුව ඉදිරියට ගෙනයෑම සඳහා අල්ලස් කොමිසම විසින් සාක්ෂිකරුවන් 25 දෙනෙකුගේ ලැයිස්තුවක් සහ අත්‍යවශ්‍ය සාක්ෂි ලේඛන 47ක් අධිකරණයට නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ.



























