අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (05) නියෝග කළේය. සැකකාර හිටපු අමාත්‍යවරයාගේ නීතිඥවරුන් සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණයට එළඹුණි.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ සමයේ තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා බව පවසමින් පුද්ගලයන් සිව්දෙනෙකු බඳවාගෙන ඇති බවත්, ඉන් තිදෙනෙකු තමාට හිමි ඉන්ධන පිරවුම්හලක සේවයේ යොදවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනෙක් සේවකයා අදාළ කාර්යාලීය රාජකාරී සඳහා යොදවා නොගෙන රජයේ මුදල් අවභාවිත කර ඇති බව සඳහන් වේ.මෙලෙස අදාළ නිලධාරීන් ලවා රාජකාරී ඉටුකර නොගෙන, රජයේ අරමුදල්වලින් රුපියල් 2,768,836.14 ක මුදලක් වැටුප් හා දීමනා ලෙස ගෙවීම මගින් රජයට අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී ඇත. මෙම බරපතල අක්‍රමිකතාව හේතුවෙන් රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ වරද මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.



























