ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට නිල සංචාරයේදී අත්සන් තැබූ ගිවිසුම් වලින් රටට වාසි රැසක්

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ තෙදින නිල සංචාරය අතරතුර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් නිසා   මෙරටට වාසි රැසක් අත් වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය  විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ  තෙදින නිල සංචාරය සම්බන්ධයෙන් අද(08) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් ලැබුණු බවත්, ඒ අතුරින් ප්‍රධාන වශයෙන්  ශ්‍රී ලංකාව දීර්ගකාලීනව ඉල්ලා සිටි ඉන්දියානු ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධයෙන් ද්වී පාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමකට අත්සන් තැබූබවත්, මීටපෙර  ණය වශයෙන් ලබා දුන් ප්‍රදාන ආධාර බවට පත්කළ බවද කීය. මීට අමතරව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඉන්දියානු ණය පහසුකම යටතේ ලබා දී ඇති ශ්‍රොෆ් ණය පහුසුකමේ පොළී අනුපාතය අඩු කර ගැනීමට සහ එය නැවත අයකර ගැනීමේ කාලසීමාව දීර්ග කළ බවද කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය

 මහව – ඕමන්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ලබා දුන් සහය වෙනුවෙන් මහව – අනුරාධපුරය දුම්රිය මාර්ගයේ ස්ථාපනය කෙරෙන සංඥා පද්ධතිය සඳහා ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 14.9 ක ණය පහසුකම ප්‍රදානයක් බවට පරිවර්තනය කිරීම සිදුකළා.අනුරාධපුර පූජා නගරය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආධාර ලබාදීමට, ත්‍රිකුණාමලයේ කෝණේෂ්වර දූපතට, නුවරඑළිය සීතා එළිය වැනි පූජනීය ස්ථාන නගා සිටුවීම ට මූල්‍ය ආධාර ලබා දුන්නා. සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට ද මූල්‍ය ආධාර ලබා දීමට එකඟතාවය පළකළා.මීට අමතරව මන්නාරම් රෝහලේ ඉදකිරීම් වෙනුවෙන් මුදල් ලබා දුන්නා.
පසු අස්වනු හානිය 40%කින් පමණ අවම කර ගැනීම, කෘෂි නිෂ්පාදන මිලෙහි උච්චාවචනය පාලනය කිරීම, පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර සැපයීම සහ කෘෂිකාර්මික තිරසාරභාවය වැඩිදියුණු කිරීම ආදී අරමුණු සහිතව උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවක් සහිතව ඉදි කළ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාරය) ආරම්භකළා. සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කළා. මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක්. ශ්‍රී ලංකාවේ ආගමික ස්ථානවල සූර්ය පැනල 5000ක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළා. ඉන්දියානු මහාබෝධි සමාගමට ලැබෙන විදේශ මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තිබුණා. මෙම ගැටලුව නිරාකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආරක්ෂණ ගිවිසුම අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළා.
දමිළ ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීමට සහ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන යොවුන් නායකයන් 700කට යහපාලන පුහුණු වැඩසටහන්  ලබාදීමට එකඟතාවය පළකළා.  
වතු නිවාස 10,000ක ව්‍යාපෘතිය වෙනුවෙන්  විශේෂ මැදිහත්වීමක් සිදුකරන්ත් ඉන්දිය අගමැතිවරයා එකඟතාවය පළකළා.
මෙවැනි වාසි රැසක් මෙරට ජනතාවට ලබාදීමට හැකි වුණා. මීට අමතරව මෙහිදී අපි අවබෝධතා ගිවිසුම් 07කට අත්සන් තැබුවා. එම ගිවිසුම් 07  මෙරට නීතිපතිවරයා  විසින් අනුමත කළා. එබැවින් මෙම ගිවිසුම් කිසිවක් නීතිවිරෝධී ගිවිසුම් නොවෙයි. ඕනෑම රටකට මාස 03කට පෙර දැනුම් දී මෙම ගිවිසුම් වලින් ඉවත්වීමේ හැකියාව තිබෙනවා.

බලශක්තිය පිළිබඳ ප්‍රධාන අවබෝධතා ගිවිසුම් 02ක් අත්සන් තැබුවා. ඒ තමයි විදුලිබලය ආනයනය/අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා (HDVC) අන්තර්සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ අවබෝධතා ගිවිසුම.මෙමගින් ලංකාවේ නිෂ්පාදනය කරන අතිරික්ත විදුලිය වෙනත් රටවලට අපනයනය කිරීම හැකි බවද කීය. ඉන්දියාවෙන් අනිවාර්යයෙන් විදුලිය ලබා ගැනීමේ නීතියක් හෝ බලශක්ති සෛවරීත්වය ට කිසි සේත් පාවා දීමක්  මෙම ගිවිසුමෙන් සිදුවන්නේ නැහැ.
ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වූ ත්‍රෛයිපාර්ශවීය අවබෝධතා ගිවිසුම  අත්සන් තැබුවා.
මෙය ත්‍රෙයිපාර්ශවීය ගිවිසුමක්.  මෙම ගිවිසුමේ කිසිම තැනක මෙරටට තෙල් ගෙන්වන ක්‍රමය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි නවීකරණය කිරීමටත් මෙමගින් බලාපොරොත්තු වෙනවා.

ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර වූ සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.  නව රෝග සහ ඖෂධ ආදිය සම්බන්ධයෙන් දැනුම බෙදා ගැනීමේ ගිවිසුමක්. ඖෂධ සංග්‍රහ සහයෝගීතාව උදෙසා ඉන්දියානු සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර වූ අවබෝධතා ගිවිසුමකට අතසන් තැබුවා.මෙමගින් ගුණාත්මක බෙහොත් අඩු මිලට ලබා ගන්න පුළුවන්.

ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කරගැනීමේ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදුවණා.. අද ඉන්දියාවේ බොහෝ කටයුතු සිදුවන්නේ ඩිජිටල්කරණය හරහායි. එම දැනුම මෙරටට ලබා ගතහැකියි.
නැගෙනහිර පළාතේ බහු-ආංශික ප්‍රදාන සහාය සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.
ආරක්ෂක සහයෝගීතාව පිළිබ‍ඳ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබුවා. මෙම ආරක්ෂක ගිවිසුම නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. රටේ ආරක්ෂාවට මෙමගින් කිසිම තර්ජනයක් සිදුවන්නේ නැහැ.

මෙම අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම් සියල්ල රටට වාසි සහගත බවත් , එමගින් රටේ ජනතාවට ජයග්‍රහණ රැසක් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  ඔීනෑම අයෙකුට මෙම ගිවිසුම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත හරහා තොරතුරු ලබා ගත හැකි බවද කීය.
මෙම සංචාරය හරහා දෙරට අතර සමාජ, සංස්කෘතික බැඳීම තවදුරටත් ශක්තිමත් වී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. එම ශක්තිමත් බැඳීම දරාගත නොහැකි පසුගාමීන් මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරන බවද කීය.
ජාතික ජනබලවේගය මේ රටේ භෞමික අඛණ්ඩතාවය සහ සෛවරීත්වය වෙනුවෙන් ජීවිත පරදුවට තබා ඇති බවත්, සෑම විටම රටේ සෛවරීත්වය ආරක්ෂාකර ගනිමින් මෙම අවබෝධතා ගිවිසුම්වලට එළඹෙන බවද අමාත්‍යවරයා කීය.

What's your reaction?

Related Posts

1 of 685

Leave A Reply

Your email address will not be published. Required fields are marked *