මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට දිවයිනට පැමිණි චීන ජාතික ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් රැගෙන ආ ගමන් මළු තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබී රුපියල් ලක්ෂ 42කට අධික වටිනාකමකින් යුත් චීනයේ නිෂ්පාදිත නීතිවිරෝධී දුම්වැටි 28,000ක් (කාටූන් 140ක්) මෙලෙස සොයාගෙන ඇත.අදාළ ගුවන් මගියා අද (15) උදෑසන 09:10ට පමණ මැලේසියානු ගුවන් සේවයට අයත් MH-497 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබේ. පසුව ඔහු කිසිදු නීතිමය ගැටළුවකින් තොරව පිටව යාම සඳහා රේගු පරීක්ෂාවන්ගෙන් තොර ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර, එහිදී රේගු නිලධාරීන්ගේ සැකයට භාජනය වීම නිසා මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සහ නීතිවිරෝධී දුම්වැටි තොගය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා මේ වන විටත් රේගුභාරයේ රඳවාගෙන ඇත.



























