කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 200 ක් වටිනා අති නවීන තාක්ෂණයෙන් සමන්විත සීටී ස්කෑන් යන්ත්‍රයක්

  • සංවර්ධන ව්‍යාපෘති රැසක්දසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රතිකාර සේවාවන් සදහා එක් කරයි 

කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම අවට දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට කාර්යක්ෂම සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කරගනිමින් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන්යුත් (CT Scan) සීටී ස්කෑන් යන්ත්‍රය සහ රෝහලේ  සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් රෝගී ප්‍රතිකාර සහ සත්කාර සේවාවන් සදහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ ස්ථාපිත කරන ලද මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් (CT Scan)  සීටී ස්කෑන් යන්ත්‍රය සදහා  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වැයකරන ලද මුදල රුපියල් මිලියන 200 කි.

එමෙන්ම රෝහලේ සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති වන අලුත්වැඩියා කරන ලද මනෝ චිකිත්සක සායන පරිශ්‍රය, ප්‍රතිසංස්කරණ සිදු කල එක්ස් රේ ගොඩනැගිල්ල සහ හෘද රෝග වාට්ටුව, ගල්අස්ස ළමා හා මාතෘ රෝහල සඳහා යෝජිත නව පිවිසුම් මාර්ගය, ප්‍රතිසංස්කරණය කරන ලද  නව කාන්තා සහ පිරිමි ශල්‍ය වාට්ටුව සහ  නව ඖෂධ ගබඩාව ද  අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද අතර  එම සංවර්ධන ව්‍යාපෘති සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 42 කට අධික මුදලක් වැය කර ඇත.

කළුතර, නාගොඩ මහ රෝහල  ශික්ෂණ රෝහලක් පරිවර්ථනය කිරීමෙන් පසු ජාතික රෝහලක් බවට සංවර්ධනය වෙමින් පවතින අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදනයන්ගෙන් සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති මගින් ජනතාවට සුවිශාල සේවාවක් සිදුවන බව මෙහි දී අවධාරණය කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධව ස්ථාපිත මහාචාර්ය ඒකකයේ කටයුතු ද සිදුකෙරෙමින් සිටින අවස්ථාවක අඩුපාඩුවක්ව පැවති සීටී ස්කෑන් යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට ක්‍රියා කළ බව පැවසු අමාත්‍යවරයා මෙරට තෘතීයික සත්කාර සේවාවන් සපයන සියලුම රජයේ රෝහල් සංවර්ධනය කර මෙරට ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීමට කටයුතු කරන බව ද පැවසී ය.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ස්ථාපිත කර ඇති CT Scan යන්ත්‍රයට වසර 20 කට අධික කාලයක් වන බවත්, එම යන්ත්‍රය වසර දෙකක පමණ කාලයක සිට වරින් වර අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් කාර්යක්ෂම සේවාවක් ලබා ගත නොහැකි බව රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ ජනතාව විසින් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා දනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් මෙම අතිනවීන සීටී ස්කෑන් යන්ත්‍රය රෝහල තුළ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.

රෝගී ප්‍රතිකාර සේවාවේ දී දිනකට CT Scan පරීක්ෂණ 20 ක පමණ අවශ්‍යතාවයක් නාගොඩ ශික්ෂණ රෝහලට පවතී. කළුතර දිස්ත්‍රික්කයටම CT Scan පරීක්ෂණ සිදු කර ගැනීම සදහා පහසුකම් පවතිනුයේ  කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සහ හොරණ මූලික රෝහලේ පමණි. නව CT Scan යන්ත්‍රය ස්ථාපිත කිරීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ සහ අවට දිස්ත්‍රික්කවල ජනතාවට තම රෝගී තත්ත්වයන්ට අඳාළ පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවාවන් පෙරොත්තු ලේඛණවල රැදී නොසිට කඩිනමින් හා විධිමත්ව ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

සංවර්ධන කටයුතු ජනතා අයිතියට පත් කිරීමෙන් පසු රෝහලේ පාලනාධිකාරිය ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග රෝහලේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු පිළිබඳව මෙන්ම දැනට පවතින ගැටළු කඩිනමින් නිරාකරණය කර ගැනීම උදෙසා විශේෂ සාකච්ඡාවක් ද  පැවැත්විණි.

මූලික රෝහලක් ලෙස 1951 වර්ෂයේ දී ස්ථාපිත කරන ලද මෙම රෝහලට 2002 වර්ෂයේ දී වෛද්‍ය ආයතන ගණනාවක් රෝහලට ඒකාබද්ධ කරන ද අතර 2021 වර්ෂයේ දී කළුතර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පරිවර්ථනය කෙරිණි.වාට්ටු 43 කින් සමන්විත රෝහලේ ඇදන් ධාරිතාවය 1196 කි.කළුතර දිස්ත්‍රික්කයේ ජීවත්වන මිලියන 1.2 ජනතාවකට මෙන්ම ආසන්න දිස්ත්‍රික්කවන රත්නපුර, ගාල්ල දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවට ද මෙම රෝහල මගින් සේවාවන් සපයනු ලබයි.

කළුතර, ගල්අස්ස මාතෘ හා ළමා රෝහල ද අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට  ලක් කෙරිණි.

මෙම අවස්ථාවට  කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මදූෂිකා කරුණාරත්න මහත්මිය  ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් , වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *