ජනාධිපති අරමුදලේ වෛද්‍ය ආධාර වැඩසටහන දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීම සහ ඩිජිටල්කරණය කිරීමත් සමඟ, වසරක් ඇතුළත වෛද්‍ය ආධාර අයදුම්පත් සංඛ්‍යාව 59% කින් ඉහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ වාර්තා අනුව, 2024 වසරේ ලැබුණු අයදුම්පත් 3,313 ට සාපේක්ෂව 2025 වසරේදී අයදුම්පත් 5,277 ක් ලැබී ඇති අතර, එය පෙර වසරට වඩා අයදුම්පත් 1,964 ක වැඩිවීමකි. මින් 70% කට වැඩි පිරිසකට දැනටමත් වෛද්‍ය ආධාර ලබා දී ඇත. මීට පෙර කොළඹට පමණක් සීමා වී තිබූ මෙම සේවාවන් දැන් ප්‍රාදේශීය මට්ටමින් ලබාගත හැකි වීම නිසා අයදුම්කරුවන්ට කොළඹට පැමිණීමේ අවශ්‍යතාව මඟහැරී තිබේ.පළාත් මට්ටමින් දත්ත සලකා බැලීමේදී උතුරු පළාතෙන් ලැබුණු අයදුම්පත් 253% කින් ද, නැගෙනහිරින් 135% කින් ද, මධ්‍යම පළාතෙන් 116% කින් ද ඉහළ ගොස් ඇති අතර ඌව පළාත 108% ක වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරයි. 2025 පෙබරවාරි 7 වනදා සිට මෙම සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආරම්භ වූ අතර, එහි සාර්ථකත්වය මත අනෙකුත් සේවාවන් ද විමධ්‍යගත කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව දිළිඳුකම පිටුදැකීම, අධ්‍යාපන ශිෂ්‍යත්ව, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ආධාර සහ වන අලි ප්‍රහාරවලින් පීඩාවට පත් දරුවන්ට වන්දි ලබාදීම වැනි සියලුම සේවාවන් සඳහා දැන් මාර්ගගත (online) පහසුකම් ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අයදුම් කළ හැකිය.
- Home
- Uncategorized
- ජනාධිපති අරමුදල ඩිජිටල් වෙයි: වෛද්‍ය ආධාර ඉල්ලීම් 59% කින් ඉහළට






















