දිට්වා සුළි කුණාටු සහන: පවුල් ලක්ෂයකට වැඩි පිරිසකට උපකරණ දීමනා පිරිනමයි!

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් යළි පදිංචි කිරීමේදී මුළුතැන්ගෙයි උපකරණ මිලදී ගැනීම සඳහා රජය අනුමත කළ රුපියල් 50,000ක දීමනාවෙන් 70%ක් මේ වන විට ගෙවා අවසන් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කරයි. දිස්ත්‍රික්ක 25ක් පුරා විසිරී සිටින සුදුසුකම් ලැබූ පවුල් 156,805ක් අතුරින් පවුල් 109,512ක් සඳහා දැනටමත් මෙම මුදල් ලබා දී ඇත. ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, වවුනියාව, කිලිනොච්චිය, අම්පාර, බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ගෙවීම් සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, සෙසු බොහෝ දිස්ත්‍රික්කවල ප්‍රගතිය 90% ඉක්මවා තිබේ.​නිවාස පිරිසිදු කිරීම වෙනුවෙන් පිරිනමන රුපියල් 25,000ක දීමනාව ද 97%ක සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති අතර, ප්‍රතිලාභී පවුල් 435,104කින් පවුල් 422,900කට මේ වන විටත් මුදල් ගෙවා අවසන්ය. මීට අමතරව, ආපදාවට පත් පවුල්වල පාසල් සිසුන් සඳහා ලබාදෙන රුපියල් 15,000ක දීමනාව සිසුන් 136,994කට (73%) ලබා දී ඇති අතර, ජනාධිපති අරමුදල මගින් පිරිනමන තවත් රුපියල් 10,000ක දීමනාවක් ද බෙදාහරිමින් පවතී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 5,034ක් සඳහා රුපියල් ලක්ෂ 2 බැගින් වූ එකවර ගෙවන දීමනාව වෙනුවෙන් රුපියල් බිලියන 1.0068ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත මුදා හැර ඇත.​නිවාස ප්‍රතිසංස්කරණ කටයුතු ද “නැවත නැගිටින ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වේගවත්ව සිදුවේ. ජනවාරි 9 වන දින අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ආරම්භ කළ “Project 5M” ව්‍යාපෘතිය හරහා සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 5 බැගින් වැය කර නව නිවාස ඉදිකිරීම ආරම්භ කර ඇත. වගා හානි සහ පශු සම්පත් හානි සඳහා වන්දි ගෙවීමේ කටයුතු ද දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, පශ්චාත් ආපදා යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය හරහා ජන ජීවිත පෙරට වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට රජය කැපවී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 984

Leave A Reply

Your email address will not be published. Required fields are marked *