දිස්ත්‍රික්ක 4කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මෙම නිවේදනය ඊයේ (02) රාත්‍රී 11:00 සිට අද (03) රාත්‍රී 11:00 දක්වා පැය 24ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන අතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ මෙලෙස අවදානමට ලක්ව ඇත.​ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ විමසිලිමත්ව සිටින ලෙස දන්වා ඇත. මීට අමතරව, කෑගල්ලේ අරණායක හා දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, තලවකැලේ සහ කොත්මලේ (නැගෙනහිර හා බටහිර), මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල හා රත්නපුර කොට්ඨාස සඳහා අදියර 1 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.​කඳුකර හා බෑවුම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව පොළොව ගිලා බැසීම්, පස් කඳු පිපිරීම් සහ උල්පත් ජලය බොරවීම වැනි හදිසි වෙනස්වීම් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී. අවදානම් තත්ත්වයන් හමුවේ අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,267

Leave A Reply

Your email address will not be published. Required fields are marked *