ට්‍රැක්ටර් යන්ත්‍ර ආධාරයෙන් සිදුකරන මාදැල් කර්මාන්තයට පනවා ඇති වින්ච් යන්ත්‍ර තහනම ඉවත් කරන ලෙස බල කරමින් ආරම්භ කළ ධීවර විරෝධතාව අද (08) සිව්වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. පසුගිය 5 වනදා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මෙම සත්‍යග්‍රහය ආරම්භ වූයේ සිය ජීවනෝපාය අර්බුදයට පත්ව ඇති බව පවසමිනි. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ධීවරයින් අවධාරණය කරන්නේ තමන් මුහුණ දී සිටින ප්‍රායෝගික ගැටලු සඳහා වහාම ස්ථිරසාර විසඳුමක් අවශ්‍ය බවයි.කෙසේ වෙතත්, මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පවත්වා ඇති නමුත් ඒවා සියල්ල මෙතෙක් අසාර්ථක වී ඇති බව ධීවරයෝ පෙන්වා දෙති. නිසි බලධාරීන්ගෙන් සාධාරණ ප්‍රතිචාරයක් ලැබෙන තෙක් සිය අරගලය අත්නොහරින බව පවසන ඔවුහු, මෙම සත්‍යග්‍රහය තවදුරටත් ඉදිරියට ගෙන යන බවට ප්‍රකාශ කර සිටිති.


























