ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයෙන් නිපා (Nipah) වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇති අවදානම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර ඇත. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ, මෙම වෛරසය මෙරටට ව්‍යාප්ත වීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බවයි. සතුන්ගෙන්, විශේෂයෙන්ම වවුලන්ගෙන් මිනිසුන්ට බෝවන මෙම රෝගය, ආසාදිත සතුන් හෝ ඔවුන් ස්පර්ශ කළ ද්‍රව්‍ය හරහා මෙන්ම ආසාදිත පුද්ගලයින්ගේ ශ්වසන ස්‍රාවයන් මගින් සමීප සම්බන්ධතා පවත්වන්නන් අතර පැතිර යා හැකි වුවද, එය ඉන්ෆ්ලුවෙන්සාව මෙන් වාතය හරහා වේගයෙන් ව්‍යාප්ත වන රෝගයක් නොවන බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.ඉන්දියාවේ රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වුවද, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් කිසිදු සංචාරක සීමා පැනවීමක් නිර්දේශ කර නොමැති අතර, ශ්‍රී ලංකාව තුළ පවතින ශක්තිමත් රෝග විමර්ශන පද්ධතිය හරහා ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බව අමාත්‍යාංශය අවධාරණය කරයි. විශේෂයෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) සතුව නිපා වෛරසය හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් පවතින බැවින්, කිසියම් ආසාදිතයෙකු මෙරටින් වාර්තා වුවහොත් එය කල්තියා හඳුනාගැනීමේ හැකියාව පවතී. මේ පිළිබඳව අනියත බියක් ඇති කර නොගෙන, නිල පුවත් මූලාශ්‍ර කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



























