විදුලි සංදේශ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අද ශ්‍රේෂ්ඨාදිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළේ එම පනත් කෙටුම්පතේ පවතින ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කරන ලෙස ඉල්ලමින්.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙම යෝජිත විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය අද ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශ්වය කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අටවැනි වගන්තිය තුළින් විදුලි සංදේශ නියාමන කොමිසමට ගැටලු නිරාකරණය හා විමර්ශන සිදුකිරීම සම්බන්ධයෙන් අත්තනෝමතික බලයක් පැවරී තිබෙන බවයි.

එම වගන්තිය හරහා විදුලි සංදේශ නියාමන කොමිසමට අත්තනෝමතික ආකාරයෙන් විධාන නිකුත් කිරීමටත් බලය පැවරී තිබෙන බවත් මේ හරහා අධිකරණ ස්වාධීනත්වයට ද බලපෑම් සිදුවන බවත් පෙත්සමේ සඳහන්.

ගුවන් විදුලි තරංග නිකුත් කිරීමට අදාළවද කොමිසම වෙත අත්තනෝමතික බලයක් මෙමගින් පවරා දී ඇති අතර ඒ හරහා ගුවන් විදුලි තරංග වෙන්කර බෙදා දීමේදී පාර්ශව කරුවන් විවිධ අක්‍රමිකතාවන්ට මුහුණ දීමට හැකියාවක් තිබෙන බවටද පෙත්සම මගින් අනතුරු අඟවා තිබෙනවා.

යෝජිත විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතේ 11 වැනි වගන්තිය යටතේ විවිධ දඩ මුදල් පැනවීමට කොමිසමට බලය පවරා දී ඇති අතර ඒ තුළින් අධිකරණය සතු බලය පැහැර ගැනීමක් සිදුවී ඇති බවද පෙත්සමේ සඳහන්.

පෙත්සම්කාර පාර්ශ්වය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විකාශන බලපත්‍ර නිකුත් කිරීමේදී විවිධ කොන්දේසි හා විධාන පැනවීමේ අත්තනෝමතික බලයක් කොමිසම වෙත පවරාදී ඇති බවයි.

පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය යටතේ කොමිසම විසින් නිකුත් කරන කොන්දේසි හා විධානයන් උල්ලංඝනය කරන අවස්ථාවක දැනට නිකුත් කර තිබෙන විකාශන බලපත්‍ර ආපසු කැඳවීමේ අත්තනෝමතික බලයක් විෂය භාර අමාත්‍යවරයාට සලසා දී ඇති බවත් පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙනවා.

මෙම පනත ක්‍රියාත්මක වුවහොත් විද්‍යුත් විකාශන ක්ෂේත්‍රයේ පවතින ස්වාධීන භාවය සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩකඩ පවතින බවයි පෙත්සම්කාර ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය පෙන්වා දෙන්නේ.

මෙම පන්තේ ඇතැම් කරුණු හරහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් සිදුවන අතර ඒවා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවත් පෙත්සමේ සඳහන්.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කාර විද්‍යුත් විකාශකයින්ගේ සංසදය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *