ශ්‍රී ලංකාවේ ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීමේ මූලික පියවරක් ලෙස, එහි ආයතනික, අධ්‍යයන සහ නෛතික රාමුව පිළිබඳ සාකච්ඡාවක් කලාව හා සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේදී පවත්වා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම හමුවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, ජාතික චිත්‍රපට සංස්ථාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය සහ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ. හුදෙක් සෛද්ධාන්තික දැනුමට පමණක් සීමා නොවී, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රායෝගික කුසලතා සහිත සිනමාකරුවන් බිහිකිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.වසර ගණනාවක සිට සාකච්ඡාවට බඳුන් වූ මෙම ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ පවතින සම්පත් උපරිමයෙන් භාවිත කිරීමට මෙහිදී එකඟතාව පළ විය. මේ සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට ජගත් මනුවර්ණ, සුදත් මහදිවුල්වැව සහ මහාචාර්ය සීතා බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළත් තාක්ෂණික කමිටුවක් පත් කළ අතර, විෂය මාලා සංවර්ධනය ඇතුළු අධ්‍යයන කටයුතු සැලසුම් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සිනමා වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් වෙනම කමිටුවක්ද පත් කර ඇත.සිනමා පාසලට අමතරව, දැනට අක්‍රිය වී ඇති කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල (Colombo International Film Festival) මෙ වසරේදී යළි ආරම්භ කිරීම සහ ඒ සඳහා ස්ථිර අරමුදල් යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව ද අවධානය යොමු විය. එමෙන්ම, කොළඹට ආසන්නව නවීන තාක්ෂණයෙන් යුත් චිත්‍රපට මැදිරි සංකීර්ණයක් (Film Studio Complex) ඉදිකිරීම සඳහා සුදුසු ඉඩමක් හඳුනාගෙන එහි ඉදිරි කටයුතු සැලසුම් කිරීම පිළිබඳව ද මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.


























