හොරකමට ඇබ්බැහි වූ දරුවා

බරපතළ ගණයේ සොරකම්වලට හුරු වූ අවුරුදු 15ක පාසල් දරුවකු රන් හාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු රුපියල් ලක්ෂ දහයක පමණ සොරා ගත් භාණ්ඩ සමග ගලහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පොළ නිල්ලඹ ඔෆිස් හන්දිය ප්‍රදේශයේ පේළි නිවසක බාප්පා (මවගේ දෙවැනි විවාහක සැමියා) සමග සිටින දරුවා මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.

මොහු ගලහා නගරයේ නිවසක් බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ අටකට ආසන්න රන්තාලියක් (පෙන්ඩනය සමග මාලය) ඇතුළු දේපොළද, එම නගරයේම දුරකථන වෙළෙඳසලක් බිඳ ඇපල් වර්ගයේ දුරකථනයක්, ඔෆිස් හන්දිය ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් පනස්දාහක් වටිනා පාපැදියක් හා එම ප්‍රදේශයේම නිවසක් බිඳ එහි තිබූ මුදල් කැටයක් ඇතුළු විද්‍යුත් උපකරණ ද සොරාගෙන තිබුණි.

සොරකම් පිළිබඳව අවබෝධයක් නොතිබූ මොහු අනෙකුත් මිතුරන් සමග සොරා ගන්නා ලද පාපැදිය ගමේ පිට්ටනියේදී පදිමින් සිටියදී එය හඳුනා ගැනීමෙන් පසු පොලිසියට මෙම සිසුවා හසුව තිබුණි.

කුඩා කල සිටම දැඩි පීඩාවන්ට මැදිව තිබූ මෙම දරුවා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මුනිවත රැක සිට ඇති අතර එය අවබෝධ කරගත් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ මෙම ප්‍රශ්න කිරීම් නවතා දමා දරුවා සන්සුන් කර ඔහු සමග හිතවත් වී තිබේ.

අනතුරුව ඔහුට සෙනෙහස දක්වමින් චොකලට්, අයිස්ක්‍රීම් ආදිය ලබා දෙමින් ආදරය දක්වා සියල්ල හෙළිකරගෙන තිබේ.

දරුවාගේ පියා කවුදැයි ඔහු කුඩා කාලයේ සිටම දැක නැති අතර, මව වෙනත් විවාහයක් කර ගැනීමෙන් එදා සිට මොහු බාප්පාගේ අණසකට යටත්ව දැඩි පීඩාවට පත්ව සිට තිබේ.

මව මීට වසරකට පෙර ගෘහ සේවයට විදෙස්ගතව ඇති අතර ඇය එවන සෑම සතයක්ම බාප්පා බීමට වියදම් කර තිබූ අතර මෙම දරුවා කෑවාද බීවාද බලා නොතිබූ බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

නිල්ලඹ දෙමළ විද්‍යාලයේ නවය වසරේ අධ්‍යාපනය ලබන මොහු මෙම තත්ත්වය හමුවේ ඉඳහිට පාසල් ගොස් ඇති අතර ආදරය කරුණාව අහිමි ඔහු නිරායාසයෙන්ම මේ ආකාරයට හොරකමට යොමුවී ඇත්තේ කැමති කෑමබීම ආදිය ගැනීමට මුදල් නොමැති නිසාය.

මේ නිසාම සොරා ගන්නා ලද රන් භාණ්ඩ, ජංගම දුරකථන ආදිය තම බෑගයේම තබාගෙන ඇති අතර සොරාගත් මුදල් කැටේක තිබුණු රුපියල් 800ක් හා තවත් සුළු මුදල්වලින් ඔහු විවිධ ආහාර ලබාගෙන තිබේ.

ඒ අනුව සානුකම්පිත වාර්තාවක් සමග මෙම දරුවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර බාප්පාට මෙම දරුවා යළි භාර නොදීමට අධිකරණයෙන් ඉල්ලීමටද පොලිසිය පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *