2024 දෙසැම්බර් 23 වන දින පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්

සාමාන්‍ය පෙල විභාගය මැද පුංචි ඡන්දය පවත්වා දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.12.23) පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

පුංචි ඡන්දය මැයි මාසයට – සාමාන්‍ය පෙල දරුවන්ට බාධා එපා

පසුගිය සිකුරාදා මාධ්‍ය ඇමතූ ජනාධිපතිතුමා පුංචි ඡන්දය සිංහල අවුරුද්දට කලින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පැවසුවා. එතුමා එහෙම කිව්වේ පනත් සම්පාදනය පිළිබඳ එතුමාට නිසි අවබෝධයක් නැති නිසා. දෙසැම්බර් 3 වන දා පුංචි ඡන්දයට කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමට ඇමති මණ්ඩලය තීරණය කලා. ඒ තීන්දුව අරන් සති තුනක් ගත වුණත් තනි පිටුවේ පනත ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තවමත් අසමත් වෙලා තිබෙනවා.

අපි හිතමු අද මේ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය අනුමත කරනවා කියලා. අද රැස්වීමේ වාර්තාව අනුමත කරන්නේ දෙසැම්බර් 30දා. ඊට පස්සේ දෙසැම්බර් 31 ගැසට් මගින් ප්‍රසිද්ධ කලොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනතාවට අධ්‍යනය කරන්න සති දෙකක කාලයක් දෙන්න ඕනි නිසා ජනවාරි 14 දා වන තුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ. ජනවාරි 14 පස්සේ පාර්ලිමේන්තුව රැස්වීමක් තිබෙන්නේ ජනවාරි 21 දා. එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ පනත් කෙටුම්පතට එරෙහිව නඩු පවරන්න ජනතාවට සති දෙකක කාලයක් ලබා දෙනවා. ඒ සති දෙක ගත වුණාම කවුරුවත් නඩු දැම්මේ නැතිනම් තමයි පාර්ලිමේන්තුවේ විවාද කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පෙබරවාරි 5 දා වන තුරු මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න බෑ. පෙබරවාරි 5දාම විවාද කරලා සම්මත කළත් කතානායකට අත්සන් තබන්න තවත් දවස් දෙකක්වත් යනවා. ඒ කියන්නේ මේ පනත නීතියක් වෙලා නාමයෝජනා අහෝසි වෙන්නේ පෙබරවාරි 7දා. පෙබරවාරි 8දා මැතිවරණ කොමිසම කඩිමුඩියේ රැස් වෙලා මැතිවරණයට දින නියම කරලා ඒක එදාම තේරීම් භාර නිලධාරින්ට දැනුම් දීම කළත් මැතිවරණය නිවේදනය කරන්න වෙන්නේ පෙබරවාරි 9දා. මැතිවරණය ප්‍රකාශයට පත් කරන දිනයේ සිට 14 වන දිනයේ සිට 17 වන දිනය දක්වා තමයි නාමයෝජනා භාර ගන්නේ. ඒ කියන්නේ නාමයෝජනා දින බවට පත් විය හැකි ආසන්නතම දින වෙන්නේ පෙබරවාරි 23 සිට 26 දක්වා.

පලාත්පාලන මැතිවරණ නීතියට අනුව මැතිවරණය පැවැත්වීම සිදු කරන්න ඕනි නාමයෝජනා අවසන් වන දිනයේ සිට සති 5ක් සහ 7ක් අතර. අවම කාලයකින් මැතිවරණය පවත්වනවා කියලා හිතුවොත් පෙබරවාරි 26 සිට සති 5ක්. ඒ කියන්නේ අප්‍රේල් 02 දා. මැතිවරණය හැකි තාක් දුරට සෙනසුරාදා දින පවත්වන්න කියලා පලාත්පාලන පනතේ විශේෂයෙන් කියනවා. ඒ නිර්දේශය අනුව මැතිවරණය පවත්වන්න වෙන්නේ අප්‍රේල් 5දා. ඒ නිසා තමයි සිංහල අළුත් අවුරුද්දට කලින් ඡන්දය පවත්වන බවට ජනාධිපතිතුමා කිව්වේ.

ආණ්ඩුවට මැතිවරණයට දින නියම කරන විට අමතක වුණු දෙයක් තිබෙනවා. ඒ තමයි ජීවිතයේ කඩඉම් විභාගයක් වෙන සාමාන්‍ය පෙල විභාගය මාර්තු 15 සිට අප්‍රේල් 5දා දක්වා පැවැත්වෙනවා. අපේක්ෂකයින් ලක්ෂයක් විතර තරග වදින වැඩිම කාලගෝට්ටියක් ඇති කරන මැතිවරණය තමයි පුංචි ඡන්දය. ඒ නිසාම විභාගයට මුහුණ දෙන සෑම දරුවෙකුගේම පවුල් වල කවුරු හරි අපේක්ෂකයෙකු ඥාතියෙක් හෝ මිත්‍රයෙක් ලෙස ඉන්නවා. රටේ වගේම ගෙවල් තුල තිබෙන කලබලකාරි පරිසරය දරුවන්ගේ මානසිකත්වයට බලපානවා. ඒ නිසා සාමාන්‍ය පෙල විභාගය මැද පුංචි ඡන්දය පවත්වලා දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

සුළි සුළඟක් එනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවලා තිබිය දී විභාගය කල් දාන්න කියලා දරුවන් ඉල්ලා සිටිය දී ඉතාම උද්ධච්ඡ ආකාරයෙන් පසුගිය උසස් පෙල විභාගය කල් දාන්න අගමැතිතුමිය ප්‍රතික්ෂේප කලා. සුළි සුළඟ නිසා තමන්ගේ ගෙවල් පොත්පත් විනාශ වුණු දරුවන් ආණ්ඩුවේ මුරණ්ඩුකම නිසා දැඩි අපහසුතාවයන්ට මුහුණ දුන්නා. ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන උසස් පෙල දරුවන් දැම්ම අමාරුවේ සාමාන්‍ය පෙල දරුවන් දාන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

අප්‍රේල් මුල් සතියේ මැතිවරණය ප්‍රකාශයට පත් කලොත් අවුරුද්දෙන් පස්සේ නාමයෝජනා භාර ගෙන මැයි මස අග මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙනවා. එතකොට මැතිවරණයෙන් අපේ දරුවන්ට බාධාවක් වීම වැලැක්වෙනවා.

අලි පැන්නීම වගේම අලි වැටත් අලි – මිනිස් ගැටුමට විසඳුම් නොවේ

අනුරාධපුරයට ආපු අලි රංචුවක් විල්පත්තු වනයට පැන්නීමට වනජීවි නිලධාරින් දැන් සතියක වගේ කාලයක් තිස්සේ ලොකු වෙහෙසක් ගන්නවා අපි දැක්කා. පරිසරවේදියෙකු වගේම පරිසර ඇමතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කලක් කටයුතු කළ කෙනෙකු විධියට එය අසාර්ථක වැඩක් බව කියන්න ඕනි. මීට වසර විස්සකට විතර කලින් ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු කළ පර්යේෂණයකින් සොයා ගත්තා අලියෙකු කිලෝ මීටර් සීයක් ඈතට ගිහින් දැම්මත් නැවත තමන් කැමැති ප්‍රදේශයට එනවා කියන එක. මතක ශක්තිය අතින් අලියා ඉදිරියෙන්ම ඉන්නවා විතරක් නොවේ මිනිසා වගේම අතීත කාමය බරපතල විධියට අලියාටත් තිබෙනවා. ඒ නිසා අලි රංචු කෙතරම් විල්පත්තුවට පැන්නුවත් නැවත පරණ පුරුදු තැනට එන එක නවත්වන්න බෑ. අලි මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත වගේම දේපල හානි සිදුවන එක නවතින්නෙත් නෑ.

අලියා ගම් වදින්නේ ඇයි? කෑම සහ ජලය සොයා ගෙන. මේ දෙක කැලයේ තිබෙනවා නම් ජීවිතය පරදුවට තබා ගම් වදින්නේ නෑ. මේකට තිබෙන විසඳුම තමයි විල්පත්තු වගේ වනෝද්‍යාන වල වැව් හදලා ජල පහසුකම් ඇති කිරීම. හේන් වවලා වගා කරන ගොවින්ට අස්වැන්නේ වටිනාකම ගෙවලා ඒ අස්වැන්න අලින්ට කන්න අත් හරින එක. මේවා තමයි අද ලෝකය පුරා ක්‍රියාත්මක වෙන අලි මිනිස් ගැටුමට ප්‍රායෝගික විසඳුම්.

කෝටි ගණනින් සෑම වසරකම අලි වැටට මුදල් වෙන් කළත් අලි වැටත් අසාර්ථකයි. ගමයි කැලයයි වැටක් ගහලා වෙන් කරන්න බෑ. හරක් තණ කන්න කැළයට මුදා හරින්න ඕනි. දර එකතු කරන්න පලා නෙලන්න බෙහෙත් පැලෑටි සොයන්න කැලයට යන්න ඕනි. ඒ නිසා අලි වැට ඉල්ලන ගම්මුන්ම මේ අලි වැට කපා ගෙන කැලයට ඇතුළු වෙනවා. ඒ නිසා තායිලන්තය මියන්මාරය වැනි රටවල් අලි ගම් වැදීම නතර කරන්න අලි වැට වෙනුවට භාවිතා කරන්නේ ජෛව විද්‍යාත්මක විසඳුම්. අලියා මී මැස්සාට බය නිසා ගම් මායිමේ මී මැසි කූඩු හදනවා. අලියා අකැමැති සුවඳ පතුරුවන සේර දෙහි වැනි පැලෑටි සිටුවනවා. අලි වැට වියදමක් වුණාට මේ ක්‍රම ආදායම් ජනිත කරලා ගැමියාගේ ආර්ථික සවිමත් කරනවා. අලි වෙඩි දමමින් අලියා පස්සේ දුවනවාට වඩා කඩන්න කඩන්න අලි වැට හදනවාට වඩා මේ වගේ නිර්මාණශීලි විසඳුම් වලට යොමු වෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්ණය

ආණ්ඩුව අඩු මිල මත්පැන් වර්ගයක් හදුන්වාදෙන වැඩ පිළිවෙලක ඉන්නවා නේද?

පිළිතුර

ආණ්ඩුව ඔය හදන්නේ සුරාබදු ආදායම වැඩිකරගන්න. රජයේ බදු ආදායම වැඩි කරගත යුතුයි. නමුත් බදු ආදායම වැඩි කරගන්නේ ජනතාවට මත්පැන් පොවා නම් ඒ හරහා රටේ විශාල සෞඛ්‍ය වියදමක් ඇති වෙනවා. අපේ රටේ ශ්‍රමබලකායේ අඩපනවීමක් ඇති වෙනවා. පවුල් සමගිය බිද වැටෙනවා. පොලීසියේ රාජකාරි වැඩිවෙනවා. එහෙම බලන කොට මේ බදු ආදායම උපයාගැනීම ගැන ආණ්ඩුව දෙවරක් සිතිය යුතුයි.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *