ගූගල්හි මව් සමාගම වන Alphabet විසින් ඉන්දීය රුපියල් බිලියන 15ක (£11.29bn) දැවැන්ත ආයෝජනයක් යටතේ ඉන්දියාවේ දකුණු දිග ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ, විශාඛාපට්නම් වරාය නගරයේ කෘත්‍රිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙම පහසුකම ඇමරිකාවෙන් බැහැරව ගූගල් විසින් ලොව පුරා පිහිටුවන විශාලතම AI කේන්ද්‍රස්ථානය වන අතර, එය රටවල් 12ක් පුරා ව්‍යාප්ත ගූගල්හි ගෝලීය AI මධ්‍යස්ථාන ජාලයේ කොටසකි. මෙම ආයෝජනය ඉදිරි වසර පහ තුළ සිදු කිරීමට නියමිත බව Google Cloud හි ප්‍රධාන විධායක නිලධාරී තෝමස් කුරියන් මහතා නවදිල්ලි නුවර පැවති උත්සවයකදී සඳහන් කළේය.අඩු දත්ත පිරිවැය සහ ශීඝ්‍රයෙන් වර්ධනය වන අන්තර්ජාල පරිශීලක පදනම හේතුවෙන් ඉන්දියාව, තාක්ෂණික දැවැන්තයින් සඳහා Cloud සහ AI ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. මෙම පහසුකම හරහා “ඉන්දියාවේ ව්‍යවසායන් සහ පරිශීලකයන් වෙත අපගේ කර්මාන්තයේ ප්‍රමුඛතම තාක්ෂණය ගෙන එනු ඇති බවත්, එමගින් AI නවෝත්පාදන වේගවත් කර රට පුරා වර්ධනයක් ඇති කරනු ඇති බවත්” Alphabet හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචෙයි මහතා පැවසීය. මෙම ව්‍යාපෘතිය Cloud සහ AI යටිතල පහසුකම් පුනර්ජනනීය බලශක්ති පද්ධති සහ පුළුල් කරන ලද තන්තු-දෘශ්‍ය ජාලයක් (fibre-optic network) සමඟ ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇත.ආන්ද්‍රා ප්‍රදේශ් රජය විසින් මෙම ව්‍යාපෘතියට අවසන් අනුමැතිය ලබා දෙනු ලැබීමෙන් පසු, ප්‍රාන්තයේ තාක්ෂණ අමාත්‍ය නාරා ලෝකේශ් මහතා පැවසුවේ, “මෙය අපගේ ප්‍රාන්තයේ ඩිජිටල් අනාගතය, නවෝත්පාදනය සහ ගෝලීය තත්ත්වය සඳහා දැවැන්ත පිම්මක්” බවයි. ආන්ද්‍රා ප්‍රදේශ් රජය විසින් ගෝලීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා සහනදායී ඉඩම් සහ විදුලිය ලබා දීම මගින් දත්ත මධ්‍යස්ථාන කර්මාන්තය දිරිමත් කරයි. 2024 වන විට 1GW ධාරිතා සීමාව ඉක්මවා යමින්, ඉන්දියාවේ දත්ත මධ්‍යස්ථාන කර්මාන්තය පසුගිය වසර පහ තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ.