‘අක්වාන්’ සුළි කුණාටුව හේතුවෙන් කාලගුණයෙන් රතු නිවේදනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘අක්වාන්’ සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 630ක් පමණ දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය කිහිපය තුළ ප්‍රබල සුළි කුණාටුවක් බවටත්, හෙට (19) වන විට ඉතා ප්‍රබල සුළි කුණාටුවක් බවටත් වර්ධනය වී නොවැම්බර් 20 වැනිදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වීමට නියමිත බව අනාවැකි පළ කර තිබේ.​මේ හේතුවෙන් බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙස දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. දැනට එම මුහුදු කලාපවල සිටින ධීවරයින් වහාම ආරක්ෂිත ස්ථාන කරා පැමිණිය යුතු අතර, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසද ඉල්ලා සිටී.​මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතියද, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකිය. එමෙන්ම අලුයම් කාලයේදී මීදුම් තත්ත්වයක් අපේක්ෂා කෙරෙන අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,428

Leave A Reply

Your email address will not be published. Required fields are marked *