‘අත්තම’ ජාතික පවිත්‍රතා මෙහෙයුම හෙට දිවයින පුරා

පවිත්‍ර දේශයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘අත්තම’ ජාතික පවිත්‍රතා දින වැඩසටහන හෙට (08) පෙ.ව. 8.00 ට දිවයින පුරා ආරම්භ වේ. ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලය, ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධාන කරන මෙම මෙහෙයුම, දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සියලුම ග්‍රාම නිලධාරී වසම් තුළ එකවර ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.​දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ ප්‍රජා ශක්ති කමිටුවල සක්‍රිය දායකත්වයෙන් මෙම වැඩසටහන් මාලාව මෙහෙයවනු ලබයි. මහා මාර්ග, වෙළඳපොළවල් ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීමත්, ප්‍රයෝජනයට නොගන්නා පොදු පහසුකම් සංවර්ධනය කිරීමත් හරහා සුන්දර පරිසරයක් ගොඩනැඟීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.​මෙම ජාතික පුරවැසි මෙහෙවර මගින් පොදු දේපළ සුරැකීමේ ධනාත්මක ආකල්ප වර්ධනය කරන අතරම, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ‘අත්තම’ හෙවත් ශ්‍රම හුවමාරු සංකල්පය සහ ප්‍රජා සහජීවනය තරුණ පරපුර අතර නැවත ප්‍රවර්ධනය කිරීමට ද බලාපොරොත්තු වේ.

What's your reaction?

Related Posts

1 of 1,275

Leave A Reply

Your email address will not be published. Required fields are marked *