උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණය හමුවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් එල්ල විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 (2) යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මහා සංඝරත්නය මෙන්ම ජාත්‍යන්තර නීති සංවිධාන පවා මෙම පියවරට සිය දැඩි විරෝධය පළ කර ඇති බවයි. නඩු ප්‍රමාදය වැළැක්වීමට මෙම වයස් දීර්ඝ කිරීම එකම විසඳුම නොවන බවත්, ඒ සම්බන්ධයෙන් පැහැදිලි අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.රටේ ගොඩගැසී ඇති ලක්ෂ 11කට අධික නඩු සංඛ්‍යාවට හේතුව විනිසුරුවන්ගේ හිඟය පමණක් නොවන බවත්, පරිපාලනමය ප්‍රමාදයන්, රජයේ රසපරීක්ෂක හා නීතිපති දෙපාර්තමේන්තු වල පවතින ගැටලු ද ඊට බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. 2023 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහය ඇතිව අධිකරණ අමාත්‍යාංශය මඟින් සකස් කළ පිටු 506ක ප්‍රතිසංස්කරණ වාර්තාවේ ප්‍රමුඛතා පසෙකලා, පද්ධතිමය වෙනස්කම් සිදු නොකර මෙලෙස හදිසියේ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම ප්‍රශ්න සහගත බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළ ආකාරය, නීතිපති අනුමැතිය ලද දින සහ ගැසට් කිරීමට නියමිත කාලවකවානු පිළිබඳ නිල දත්ත සභාගත කරන ලෙස විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීති කොමිසම සහ අධිකරණ සේවා කොමිෂන් සභාව වැනි ප්‍රධාන ආයතන සමඟ ප්‍රමාණවත් පරිදි සාකච්ඡා නොකර මෙම තීරණ ගෙන ඇති බවට චෝදනා කළ ඔහු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙසද යෝජනා කළේය.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වී අධිකරණයට පමණක් බලපාන පරිදි කොටස් වශයෙන් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, පහළ සහ ඉහළ අධිකරණවල දැනට පවතින පුරප්පාඩු ඉක්මනින් පිරවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. මහ නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද විරෝධතා ලේඛන සභාගත කරන ලෙසත්, ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වවල අදහස් විමසමින් ප්‍රබුද්ධ සංවාදයකින් පසුව පමණක් මෙවැනි සංවේදී නීතිමය වෙනස්කම් සිදු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.



























