අනුරාධපුර පොලිස් වසමට අයත් සාලිය මාවත සහ මහබුලංකුලම යන ප්‍රදේශවලදී ඊයේ (13) දින සිදුකළ විශේෂ වැටලීම් දෙකකදී නීති විරෝධී මත්පැන් සහ නිෂ්පාදන උපකරණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙම මෙහෙයුමේදී, මත්පැන් පෙරීමට සූදානම් කර තිබූ විශාල ගෝඩා ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.මෙහිදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 33.75ක් සහ ගෝඩා ලීටර් 390ක් සොයාගෙන ඇති අතර, අනෙක් සැකකරු පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක තිබී ගෝඩා ලීටර් 780ක් සහ පෙරීමට යොදා ගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් භාරයට ගත් මුළු ගෝඩා ප්‍රමාණය බෝතල් 1560කට අධික බව වාර්තා වේ.අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 44 සහ 48 යන වයස්වල පසුවන අනුරාධපුර ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ. අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම පවත්වාගෙන යන්නට ඇති බවට සැක කෙරෙන අතර, අනුරාධපුර පොලිසිය මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
























