කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි ආලෝකය නැවත ස්ථාපිත කිරීමට අනුමැතිය

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ සහ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ අක්‍රීය වී ඇති මාර්ග ආලෝකකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් දිගින් දිගටම සිදු කරන ලද සොරකම් සහ විනාශකාරී ක්‍රියා හේතුවෙන් දැනට මෙම අධිවේගී මාර්ගයේ ආලෝක පද්ධතියෙන් 85%ක් පමණම පවතින්නේ සම්පූර්ණයෙන්ම අක්‍රීය තත්ත්වයකය. මෙම තත්ත්වය මඟහරවා ගනිමින් රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි.​ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම ව්‍යාපෘතිය පැකේජ දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1,098.50කි. ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව විනිවිදභාවයකින් යුතුව සුදුසු කොන්ත්‍රාත්කරුවන් තෝරාගෙන මෙම පුනරුත්ථාපන කටයුතු කඩිනමින් ඔවුන් වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.​අධිවේගී මාර්ගයේ සමස්ත දිග ප්‍රමාණයම ආලෝකමත් කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, පළමු අදියර යටතේ වඩාත් වැදගත් සීමාවන් කිහිපයක් පමණක් සංවර්ධනය කෙරේ. ඒ අනුව පෑලියගොඩ, කෙරවළපිටිය, සීදුව සහ ජාඇල යන අන්තර් හුවමාරු කලාප ද, නව කැලණි පාලමේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ දක්වා සහ සීදුව සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා වන ප්‍රධාන මාර්ග කොටස් ද ප්‍රථමයෙන් ආලෝකමත් කිරීමට සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,170

Leave A Reply

Your email address will not be published. Required fields are marked *