කාලගුණ විපර්යාස සහ ආපදා කළමනාකරණය පිළිබඳ ජනාධිපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

පවතින උණුසුම් කාලගුණය සහ අධික වර්ෂාපතනය හමුවේ මතුවිය හැකි ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී වත්මන් කාලගුණික විපර්යාසයන් පිළිබඳ නවතම තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කරනු ලැබීය.​එම පුරෝකථන දත්ත තවදුරටත් විශ්ලේෂණය කර, ඉන් ඇතිවිය හැකි සමාජ බලපෑම් පිළිබඳ පුළුල් වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. පානීය ජලය, විදුලිය සහ ආහාර අවශ්‍යතා කළමනාකරණය කිරීමට මෙන්ම වන සතුන්ට සිදුවන බලපෑම් හඳුනාගෙන තිරසර විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා දැනට පවතින සැලසුම් යාවත්කාලීන කිරීමට මෙම වාර්තාව ඉවහල් වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.​අදාළ පුරෝකථන වාර්තාව සකස් කර අවසන් වූ වහාම ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවා මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර ඉදිරි පියවර ගත යුතු බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,426

Leave A Reply

Your email address will not be published. Required fields are marked *