සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මාලාවේ වැදගත්ම අංගයක් වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මෙවර අති උත්කර්ෂවත් අයුරින් මහනුවරදී පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කර තිබුණේ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි ශ්‍රී මහා නාථ දේවාල භූමියේදීය. මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සෞඛ්‍ය, ජනමාධ්‍ය අමාත්‍යාංශ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව මෙම ජාතික උළෙල සංවිධානය කර තිබුණි.අද උදෑසන දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම රාජ්‍ය මහෝත්සවයට එක් විය. පෙරවරු 6.55ට යෙදුණු සුබ මොහොතින්, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අභිධාන අනුනායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙත චාරිත්‍රානුකූලව හිසතෙල් ගැල්වීම සිදු කරන ලදී. එම අවස්ථාවේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාටත්, රට වැසියාටත් නිරෝගීභාවය පතා ආශිර්වාද එක් කළහ.මෙම අවස්ථාවට මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම මැති ඇමතිවරුන් රැසක්ද සහභාගී වූහ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ගමගෙදර දිසානායක සහ ප්‍රසන්න ගුණසේන මෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද ඒ අතර වූහ. චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු ජනාධිපතිවරයා දළදා මළුවේ රැස්ව සිටි ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් අලුත් අවුරුදු සුබපැතුම් හුවමාරු කර ගැනීම විශේෂත්වයක් විය.වසරක් පාසා පවත්වනු ලබන මෙම සාම්ප්‍රදායික හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය හරහා ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කෙරේ. ජනාධිපතිවරයාගේ මෙම සෘජු දායකත්වය හෙළ සිරිත් විරිත් ආරක්ෂා කරමින් ඉදිරියට ගෙනයාමට ලබා දෙන රාජ්‍ය අනුග්‍රහය මනාව පිළිඹිබු කරන්නකි. අලුත් අවුරුදු අසිරිය මැද දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනිමින් පැවැත්වුණු මෙම උත්සවය ඉතා සාමකාමී සහ බැතිබර වාතාවරණයක් යටතේ නිමාවට පත් විය.
























