මෙරට ඉන්ධන මිල ඉහළ දැමීම හරහා පොදු ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රජය විසින් ලබාදෙන ඉන්ධන සහනාධාරය කෝටිපතියන් වෙනුවට මධ්‍යම පාන්තික සහ අඩු ආදායම්ලාභී ජනතාව වෙත පමණක් සීමා කළ යුතු බව අවධාරණය කරයි. මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු අනුව ඉන්ධන මත පටවා ඇති අධික බදු ඉවත් කර ජනතාවට සහන සැලසීමට රජය වහා පියවර ගත යුතු බවත්, භාණ්ඩාගාරයේ ඉතිරි කර ඇති බව කියන මුදල් මේ සඳහා උපයෝගී කරගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.නොරොච්චෝල බලාගාරයේ විදුලි උත්පාදනය පහත වැටීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, බාල ගල්අඟුරු භාවිතය නිසා සිදුවන පාඩුව ජනතාව මත පැටවීමට රජය දරන උත්සාහය දැඩි ලෙස විවේචනය කළේය. දූෂිත ගනුදෙනු හේතුවෙන් බලාගාරවල නඩත්තු කටයුතු අඩාල වී ඇති බවත්, එමඟින් නිර්මාණය වන විදුලි හිඟය පියවා ගැනීමට අධික පිරිවැයක් දරා ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමේ බර අවසානයේ පැටවෙන්නේ පාරිභෝගිකයා මත බවත් ඔහු පෙන්වා දෙයි. මෙම අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් ඉදිරි මාසවලදී විදුලි කප්පාදුවකට මග පෑදිය හැකි බවටද ඔහු අනතුරු ඇඟවීය.රජයේ වත්මන් ආර්ථික සංකෝචන ප්‍රතිපත්තිය මෙරට නිෂ්පාදන ක්ෂේත්රය අඩාල වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම ධීවර, ගොවි සහ සුළු පරිමාණ කර්මාන්තකරුවන් සඳහා නිසි ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා රටේ සමස්ත ආර්ථිකයම කඩා වැටීමේ අවදානමක් පවතින බවත්, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම රජයේ මූලික වගකීමක් බවත් ඔහු මෙහිදී සිහිපත් කළේය.අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පළ කළ සජිත් ප්‍රේමදාස මහතා, ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමෙන් රජයට බැහැර වීමට විපක්ෂය ඉඩ නොතබන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඉන්ධන මිල ඉහළ යාම නිසා ඇතිවන උද්ධමනය පාලනය කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බව ඔහුගේ ස්ථාවරයයි.
























