බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම නියෝගය විශේෂයෙන්ම උතුරු අක්ෂාංශ 10-20 ත් නැගෙනහිර දේශාංශ 80-95 ත් අතර ගැඹුරු මුහුදු කලාපවල යෙදෙන බහුදින යාත්රා සඳහා බලපාන අතර, දැනට එම ප්රදේශවල සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කළ යුතුය.මෙම පද්ධතිය අද (25) දිනයේ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ඔක්තෝබර් 26 වනදා උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් 27 වනදා වන විට ප්රබල සුළි කුණාටුවක් බවටත් තීව්ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතී. මේ හේතුවෙන් දිවයින වටා වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි වී මුහුද ඉතා රළු විය හැක.මීට අමතරව, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන වෙරළාශ්රිත මුහුදු ප්රදේශවල රළ මීටර් 2.0-2.5 ක් පමණ උසට ඉහළ යාමේ හැකියාවක් පවතී. එම නිසා නාවික සහ ධීවර ප්රජාව ඉදිරියේදී නිකුත් කරන නිල කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනු ලැබේ.



























