වී ගබඩා හා වේලීමේ පහසුකම් නංවාලීමට මිලියන 1000ක්

මෙරට වී වේලීම සහ ගබඩා කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා මේ වසරේදී රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇත. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, අදාළ නව පහසුකම් දකුණු සහ උතුරු පළාත් කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි. පාර්ලිමේන්තුවේදී පැවැති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.​මෙම ප්‍රතිපාදනවලට අමතරව, සමුපකාර සමිති වෙත වී වේලන යන්ත්‍ර ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක ව්‍යාපෘතියක් ද, නිෂ්පාදන සමුපකාර සමිතිවල ඇසුරුම්කරණ කටයුතු දියුණු කිරීමට රුපියල් මිලියන 100ක ව්‍යාපෘතියක් ද මේ වසරේදී ක්‍රියාත්මකය. එමෙන්ම, දේශීය ගොවියා රැකගැනීම සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාව මැදිහත් වී අල කිලෝග්‍රෑමයක් රුපියල් 220 බැගින් මිල දී ගෙන ලංකා සතොස හරහා පාරිභෝගිකයාට ලබාදීමට පියවර ගෙන තිබේ.​වෙළෙඳපොළ සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය අප්‍රේල් මාසයේදී සම්බා සහ කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 120,000ක් ආනයනය කර ඇති බව මෙහිදී සඳහන් විය. ඉදිරියේදී සහල් ආනයනය කරනු ලබන්නේ වෙළෙඳපොළ අවශ්‍යතාවය සලකා බැලීමෙන් පසුව පමණක් බව අමාත්‍යවරයා පැවසීය. මීට අමතරව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය නවීකරණය කිරීම සහ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව ද මෙම කාරක සභාවේදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.​සමුපකාර ක්ෂේත්‍රය තුළ පවතින දූෂණ, වංචා සහ නෛතික දුර්වලතා පිළිබඳව ද මන්ත්‍රීවරුන් මෙහිදී කරුණු මතු කළහ. ඇතැම් වංචනිකයන් කිසිදු දඬුවමකින් තොරව නැවතත් තනතුරුවලට පත්වීමේ ගැටලුව පිළිබඳව සාකච්ඡා වූ අතර, පවතින නීතිමය අඩුපාඩු කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.​අනාගත ශිෂ්‍ය ප්‍රජාවගේ සුභසාධනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාර ලබාගත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නව සංගමයක් අලුතින් පිහිටුවා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. එමඟින් ඉදිරි අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බැවින්, සියලුම මහපොළ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඊට දායක වන ලෙස ඔහු විවෘත ආරාධනයක් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,170

Leave A Reply

Your email address will not be published. Required fields are marked *