කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා දැනට මාර්ග දෙකක ක්‍රියාත්මක මෙට්‍රෝ බස් රථ සේවාව එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට තවත් නව මාර්ග පහක් එක් කරමින් මාර්ග හතක් දක්වා ව්‍යාප්ත කිරීමට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනය පියවර ගෙන ඇත. බත්තරමුල්ල සෙත්සිරිපායේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිල වශයෙන් අනාවරණය කෙරිණි. මේ අනුව දැනට ක්‍රියාත්මක මාකුඹුර – කොටුව සහ මාකුඹුර – කඩවත මාර්ගවලට අමතරව, මිලේනියම් සිටි – කොටුව, දෙමටගොඩ – පානදුර, බත්තරමුල්ල – ඒකල, මාකුඹුර/කැස්බෑව – පිටකොටුව සහ කොල්ලුපිටිය – බම්බලපිටිය (සර්කියුලර්) යන නව මාර්ගවලටද මෙම සේවාව එක්වනු ඇත.2025 අයවැය යෝජනා යටතේ ගෙන එන ලද නවීන බස් රථ 104 ද ඇතුළුව, මෙම සැප්තැම්බර් මාසය වන විට මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 122 දක්වා වැඩි කිරීමටත්, 2027 අවසාන වන විට එය 272 දක්වා ඉහළ නැංවීමටත් ආයතනය අපේක්ෂා කරයි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ දීර්ඝ කාලීන සැලසුම වන්නේ 2027 වසරේදී මෙම සේවාව අනෙකුත් පළාත්වල ප්‍රධාන නගර වෙත ද ව්‍යාප්ත කිරීමයි.එසේම 2032 – 2035 කාලසීමාව වන විට දිවයිනේ සමස්ත නාගරික ප්‍රවාහන පද්ධතිය මෙට්‍රෝ බස් රථ සේවාව ඔස්සේ පවත්වාගෙන යාම රජයේ ප්‍රධාන අරමුණ වී ඇත. මෙම දැවැන්ත ව්‍යාපෘතිය තවදුරටත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඉදිරියේදී පෞද්ගලික අංශයේ දායකත්වය සහ සහභාගීත්වය ලබා ගැනීමට ද නියමිතය.



























