ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ප්‍රසන්න නැමැති උප පොලිස් පරීක්ෂකවරයා (SI) විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට විදුලි සැර වද්දමින් අමානුෂික ලෙස වදහිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. බඩෝවිට ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වෙළඳසැලකට යමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වෙන වෙනම රඳවා තබාගෙන තිබේ. එහිදී තමන් සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබූ බවට බලහත්කාරයෙන් පිළිගන්නා ලෙස පොලිසිය කළ බලපෑම් වින්දිතයා විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.ඉන් කෝපයට පත් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිස පොලිස් ස්ථානය තුළදී ඔහුට දරුණු ලෙස පහර දී විදුලි සැර වැද්දීමට කටයුතු කර ඇති අතර, ඉන් වැදුණු අධික කම්පනය හේතුවෙන් ඔහු සිහිසුන්ව ඇද වැටී තිබේ. පසුව පොලිසිය විසින්ම ඔහුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විටත් එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මෙම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පොලිස් මූලස්ථානයේ නියෝග පරිදි මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායමක් ක්ෂේත්‍ර විමර්ශන ආරම්භ කර ඇත.චෝදනාවට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රදේශයේ ස්පා (Spa) ආයතනයකින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ඉල්ලන වීඩියෝ දර්ශනයක් ද මෙම වින්දිතයා විසින් මීට පෙර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ බව වාර්තා වේ. මීට අමතරව, සති කිහිපයකට පෙර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියකට ද මෙම නිලධාරියා සෘජුවම සම්බන්ධ බවටත්, ඒ පිළිබඳ මෙතෙක් නිසි විමර්ශනයක් සිදුව නොමැති බවටත් ප්‍රදේශවාසීන්ගෙන් බරපතල දූෂණ චෝදනා එල්ල වෙමින් පවතී.

























