සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ තෙදින විශේෂ ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන අද (08) පෙරවරුවේ කොළඹ මහනගර සභා පරිශ්‍රයෙන් ආරම්භ විය. කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ. ශ්‍රීප්‍රතාපන් සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක අවස්ථාව පැවැත්වුණි. ලබන 10 වනදා දක්වා දිස්ත්‍රික්ක 14 ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහනට ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ක්ෂේත්‍ර රැසක නිලධාරීන් එක්ව සිටිති.මෙහිදී අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පෙන්වා දුන්නේ මෙම වසරේ මේ දක්වා රට තුළ ඩෙංගු රෝගීන් 37,000 ක් පමණ වාර්තා වී ඇති බවයි. එය පසුගිය වසරට සාපේක්ෂව රෝගීන් 10,000 ක පමණ ඉහළ යෑමකි. මෙම රෝගීන්ගෙන් සියයට 50 ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, කොළඹ නගර සභා සීමාවෙන් පමණක් රෝගීන් 2,000 කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබේ. මීට අමතරව ගාල්ල, රත්නපුර සහ නුවර යන දිස්ත්‍රික්කවල ද රෝගී වර්ධනයක් පෙන්නුම් කරන බව ඒ මහතා සඳහන් කළේය.විශේෂයෙන්ම ජනතාව බහුලව ගැවසෙන පාසල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ සංවර්ධන වැඩබිම් ආශ්‍රිතව වැඩි වශයෙන් මදුරුවන් බෝවන බව කීට සමීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. ඒ අනුව කොළඹ නගරයේ පාසල් 150 ක් ඇතුළු අධි අවදානම් කලාප ඉලක්ක කර ගනිමින් මෙම දින තුන තුළ විශේෂ පරීක්ෂාවන් සිදු කෙරේ. මෙහිදී මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන පාර්ශ්වයන්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමට සහ නීතිමය පියවර ගැනීමට මෙන්ම අවශ්‍ය ස්ථානවල ධූමායන කටයුතු සිදු කිරීමට ද සෞඛ්‍ය අංශ සූදානමින් සිටී.ඩෙංගු උවදුර සාර්ථකව පාලනය කිරීම සඳහා මහජනතාවගේ උපරිම දායකත්වය අත්‍යාවශ්‍ය වන බව කොළඹ නගරාධිපතිනිය මෙහිදී අවධාරණය කළාය. මේ අතර, මෙම තෙදින වැඩසටහනේ දෛනික ප්‍රගතිය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒ්කකය හරහා සමාලෝචනය කිරීමට කටයුතු යොදා ඇති අතර, ඊට අදාළ වාර්තා දිනපතා මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෛද්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ වනවිටත් ක්ෂේත්‍ර මට්ටමින් මෙම කටයුතුවලට සක්‍රීයව දායක වී සිටිති.

























