ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම අරමුණු කරගනිමින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිල අනුමැතිය හිමිවී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77 වැනි වගන්තිය යටතේ මෙම අනුමැතිය ලැබී ඇති අතර, එයට අමතරව මහාධිකරණ සහ පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම සඳහා 1983 අංක 35 දරන අධිකරණ සංවිධාන පනතද සංශෝධනය කිරීමට නියමිතව ඇත.මෙම යෝජිත සංශෝධන ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67ක් දක්වාද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වයස අවුරුදු 65ක් දක්වාද ඉහළ යනු ඇත. එපමණක් නොව, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වාත්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ වයස අවුරුදු 62 දක්වාත් වශයෙන් සියලුම තලවල විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර 2කින් දීර්ඝ කිරීමට මෙහිදී සැලසුම් කර තිබේ.අධිකරණ පද්ධතිය තුළ මේ වන විට පල්වී ඇති ලක්ෂ 11කට අධික නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය අඛණ්ඩව රඳවා ගැනීම මෙම පියවරේ මූලික අරමුණ බව අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මත පළ කළද, අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරන්නේ මෙම සංශෝධන සඳහා එවැනි ජනමත විචාරණයක් පැවැත්වීමේ කිසිදු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් නොමැති බවයි.



























