හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් පවරා ඇති දූෂණ නඩුවේ විභාගය එළඹෙන සැප්තැම්බර් 28 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (05) දින නියම කළේය. දැනට ඇප මත පසුවන ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු අනෙකුත් විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් නඩු විභාගය සැප්තැම්බර් 28 වනදා ආරම්භ කිරීමට නියෝග කරන ලදී. ‘අරගලය’ සමයේ මහවැලි අධිකාරියට අයත් ඉඩමක පිහිටි සිය දේශපාලන කාර්යාලයට විරෝධතාකරුවන් විසින් හානි සිදුකිරීම වෙනුවෙන් නීති විරෝධී ලෙස රුපියල් 8,850,000 ක වන්දි මුදලක් ලබාගැනීම තුළින් අල්ලස් පනත යටතේ ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.



























